
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී දළදා වහන්සේ වැඩ හිඳුවීම සඳහා ස්වර්ණමය රන් කරඬුවක් පූජාවක් ලෙස ලැබුණු බව දළදා වහන්සේගේ භාරකාරත්වය දරන මල්වතු- අස්ගිරි මහා නාහිමිවරුන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් වරයාට සංදේශයක් යවමින් දැනුම් දී තිබේ.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි,වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහා නා හිමි සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සනින් යුක්තව මෙම සංදේශය යොමු කර තිබේ.
ඇතුල් කෝට්ටේ කමන්ත අමරසේකර මහතා ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතෛෂීන් විසින් රන් කරඬුව පූජා කිරීම පිළිබඳව ඉල්ලීමක් කර අමරසේකර මහතාගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරීත්වයේ අනුමැතිය පරිදි මෙම පූජාව කරන ලදැයි ද අදාළ සංදේශයේ සඳහන්ය.
පූජා කරන ලද ස්වර්ණමය මහා කරඬුවේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සහතික කරන ලද වාර්තාව අනුව සම්පූර්ණ රත්තරන් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 65.224කි.එහි ඔබ්බවා ඇති විවිධ මැණික් ගල් වල බර කිලෝග්‍රෑම් 1.480කි.පැස්සුම් සඳහා උපකාරක ද්‍රව්‍ය වල බර කිලෝග්‍රෑම් 20.822කි.කරඬුවේ සම්පූර්ණ බර කිලෝ ග්‍රෑම් 86.04කි.
දළදා වහන්සේ මෙතෙක් වැඩ හිඳින ලද සුවිශේෂී ඓතිහාසික වටිනාකමකින් හෙබි පැරණි රන් ආලේපිත රිදී කරඬුව සුරක්ෂිත කර එහි ඓතිහාසික අනන්‍යතාවය ආරක්ෂා වන ආකාරයට ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින මාලිගාවෙහි අභ්‍යන්තරයේ තැන්පත් කර ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව දළදා වහන්සේගේ භාරකාරීත්වය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට යැවූ ලිපියේ සඳහන්ය.
දළදා වහන්සේ වැඩ සිටි මෙම රන් ආලේපිත රිදීමය මහ කරඬුව දෙවන විමල ධර්මසූරිය රජතුමා විසින් ඉදි කිරීමට ආරම්භ කර කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස සම්පුර්ණ කර පුජා කරන ලද බව ඉතිහාස වාර්තාවල දැක්වේ.
තව ද එම රන් ආලේපිත මහා කරඬුව විවිධ යුග වලදී මෙරට පාලනය කළ රජවරුන් රාජ්‍ය නායකයින්, විශේෂ අමුත්තන් ඇතුළු සැදැහැතියන් විසින් පුජා කරන ලද වටිනා මුතු, මැණික් ස්වර්ණාභරණ වලින් අලංකාර කර ඇත.එම රිදී මහ කරඬුව අලංකාර කිරීමට බුරුම හා සියම් දූත පිරිස් විසින් නොයෙක් අවස්ථාවන් වල දී විවිධ ආභරණ ඇතුළු පුජා වස්තූන් පුජා කර ඇතැයිද දළදා වහන්සේගේ භාරකාරීත්වය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd