රිපබ්ලිකන් පක්ෂය දෝෂාභියෝග නඩු විභාගයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිර්දෝෂී කරමින් ඔහුට දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාව සැලැසීය.

දෝෂාභිගයෝග විභාගයේ ඡන්ද විමසීම ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේදී පෙරේදා (5) පස්වරුවේ පැවැත්විණි. එරට වේලාවෙන් පෙරේදා (5) පස්වරු 4ට ඡන්ද විමසීම ආරම්භ විය.

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ‘ජනාධිපතිවරයාට හිමි බලය අවභාවිත කිරීම’ සහ ‘ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයට බාධා කිරීම’ වගන්ති මත පදනම් විය.

දෝෂාභියෝග ඡන්ද විමසීමේදී සෙනෙට් සභිකයන්ගෙන් වෙන වෙනම ඡන්දය විමසීය. ඒ අනුව පළමු චෝදනාවට විපක්ෂව ඡන්ද 52ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ ඡන්ද 48ක් පමණි. දෙවැනි චෝදනාවට විපක්ෂව ඡන්ද 53ක් ලැබුණු අතර පක්ෂව ඡන්ද 47ක් ලැබිණි.

ඇමෙරිකානු ඉතිහාසයේ දෝෂාභියෝග විභාගයකට මුහුණ දුන් තෙවැනි ජනාධිපතිවරයා ඩොනල්ඞ් ට්‍රම්ප් ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභාව ආසන 100කින් සමන්විතය. රිපබ්ලිකන්වරු ඉන් ආසන 53කට හිමිකම් කියති. ඩිමොක්‍රටික් පක්ෂය සතුව ඇත්තේ ආසන 45ක් පමණි. ස්වාධීන සෙනෙට් සභිකයන් දෙදෙනෙකි.

කොංග්‍රසයේ තිබෙන බෙදීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දැවැන්ත බෙදීමක් නිර්මාණය වී ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. ඇමෙරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තුව හෙවත් සෙනෙට් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් මණ්ඩල දෙකකි. සෙනෙට් සභාවේ බලය ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයටය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයටය.

ඇමෙරිකානු ජනාධිපතිවරණය මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර එම ඡන්ද විමසීමෙන් නැවත ජනාධිපති ධුරයට පත්වීම සඳහා ඩොනල්ඞ් ට්‍රම්ප් යුක්රේනයෙන් සහාය ඉල්ලූ බව කියමින් ඔහුට පළමු චෝදනාව එල්ල විය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේනයට ලබාදෙන හමුදා ආධාර ඩොලර් මිලියන ගණනක් රඳවාගෙන සිටි බවටත් සාකච්ඡාවක් සඳහා ධවල මන්දිරයට පැමිණෙන්නැයි යුක්රේන ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කළ බවටත් ඒ යටතේ ඔහුට චෝදනා එල්ල විය. හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක් කරන්නැයි ද එහිදි ඩොනල්ඞ් ට්‍රම්ප් යුක්රේනයට බලපෑම් කර ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කළේය.

ජෝ බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වී සිටී. ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජෝ බයිඩන් තේරී පත්වුවහොත් ඔහු  ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරාජය කරනු ඇතැයි සමීක්ෂණ පෙන්වාදෙයි.
පසුගිය වසරේදී දෝෂාභියෝග විභාගයේ පළමු කරුණු පළමු විමසීම් පැවැත්විණි. එහිදි ධවල මන්දිර කාර්යමණ්ඩලයට කොංග්‍රසය හමුවේ සාක්ෂි ලබාදීමට ඉඩ නොදීම නිසා ඩොනල්ඞ් ට්‍රම්ප් කොංග්‍රසයට බාධා කළේ යැයි චෝදනා එල්ල වූ අතර එය ඔහුට එල්ල වූ දෙවැනි චෝදනාව විය.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් කෙරුණු අතර දෙසැම්බර් 18 වැනිදා එය සම්මත විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ට්‍රම්ප්ට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝග චෝදනාව සම්මත වුවද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය සෙනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු විය. ඒ අනුව ජනවාරි මස මුලදී දෝෂාභියෝග යෝජනාව සෙනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව සෙනෙට් මණ්ඩලයේදී දෝෂාභියෝග විභාගය සහ ඡන්ද විමසීම පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)

055