(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ටෝනි කරුණානායක)

මීගමුව බඩල්ගම  හල්පෙ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලකට  කඩා වැදු ආණ්ඩුප පක්ෂ ප්‍රබල දේශපාලනාඥයකුගේ ගෝලයන් බව කියන කීපදෙනකු එම ඇඟලුම් කම්හල අයිති ඕමාන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයකුට සහ ආරක්ෂක නිලධාරියාට පහර දුන්නේ යැයි කියන පුද්ගලයන්  තිදෙනකු අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ ඕමාන් ජාතික ව්‍යාපාරිකයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ආරක්ෂක නිලධාරියා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

පහරදීමට සම්බන්ධ බවට සැලකෙන තවත් පුද්ගලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයන් දෙදෙනා ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයන් යැයි කියති.

ඔවුනට ඇතැයි කියන එම දේශපාලන හයිය නිසා මෙවැන්නක් කර ඇති බවට වාර්තා වේ.

මෙම මැර කණ්ඩායම ඇඟලුම් කම්හලේ අයිතිකරු නවාතැන්ගෙන සිටින නිවසේ දොර ජනෙල් වලට ද   නිවස ඉදිරිපිට තිබූ වහනයකට ද පහරදී හානි කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මීට පෙර දිනක අයකු ඇඟලුම් කම්හලට පැමිණ වාහනයක් කුලී පදනම මත එහි සේවයේ යෙදවිය හැකි දැයි විමසා ඇති බව පොලිසිය කියයි.

කුලී පදනම මත මේ අවස්ථාවේ වාහන ලබා නොගන්නා බව ඇඟලුම් කම්හල් හිමියා එම පුද්ගලයාට දැනුම් දී ඇතැයි ද පොලිසිය කීය.

ඔහු ද ආණ්ඩු පක්ෂයේ  එම දේශපාලඥයාගේ සමීපතම අයකු බව පැවසේ .

ඔහුට අයත් වාහනය කුලී පදනම මත ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත්ව සිටි බව කියන මෙම තැනැත්තා කෝටිපති ව්‍යාපාරිකයා නැවතී සිටින බංගලාවට අතුලු වී කම්හල පිටුපසින් ඇති තාප්පෙන් පැන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එහි ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරියාට පහර දී පසුව එහි දොර ජනෙල් වලට වාහනයකට ද පහර දී හානි කර නිවෙසේ සිටි ඇඟලුම් කම්හල් හිමියා  එළියට ඇද ඔහුටද දිගට හරහට පහර දී පළා ගොස් ඇතැයි පොලීසිය පැවසී ය.

මෙම මැර කල්ලිය ගැන කිසිදු හෝඩුවාවක් නොතිබූ නිසා මීගමුව මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරියේ යොදවා සිටින පොලිස් නිල සුනඛ නේරෝ ඇඟලුම් කම්හලට කැඳවාගෙන පැමිණ ඇත.

සැකකරුවකු පැළඳ දමා ගොස් තිබූ සෙරෙප්පු යුගලයක ට පොලිස් නිල සුනඛ යාට ඉව කිරීමට සැලැස්වීමෙන් පසුපොලිස් නිල සුනඛයා මීටර් 700 ක පමණ දුරකින් පිහිටි නිවෙසකට  ගොස්  එහි ඇඳකට ඉවකරනැවතුණු බව පොලීසිය කියයි.

පොලිස් නිල සුනඛයා ලබාදුන් එම හෝඩුවාව අනුව මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

පොලිස් නිල සුනඛයා මෙහෙයවා ඇත්තේ පොලිස් පොලිස් සැරයන් අධිකාරි45589මහතා විසිනි.

මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීසමන් සිගේරා මහතාගේ සහ මීගමුව පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතාගේ උපදෙස් මත බඩල්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම ඇඟලුම් කම්හල මීට වසර අටකට පමණ  ඉහතදී ආරම්භ කර ඇති අතර මෙහි ශ්‍රී ලාංකික සේවක සේවිකාවන් තුන්සිය පනස් දෙනකු පමණ සේවය කරන බවද පොලිසිය කියයි.

මැදපෙරදිග රටවල වෙසෙන අයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් එහි නිෂ්පාදනය කර එම රටවලට යැවීම සිදු කරගෙන යන බව පොලීසිය කියයි.

මෙම ඕමාන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයා සමාජ සත්කාර වලට දායක වී සිටිනදානපතියකු බවද කියති.