සිතුම් චතුරංග
          
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණ දිවියකු පොලූ මුගුරු වලින් පහරදී අමානුෂික ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයකු ඇතුළු සිව්දෙනකු ඊයේ (24) රාත‍්‍රීයේ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.


වනජීවි නිලධාරීන් විසින් කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනාගෙන මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව පොලිසිය පවසයි.


දිවියා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුව කොළඹ හා මඩකලපුව ප‍්‍රදේශවලට පැන ගොස් සැඟවී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවද පොලිසිය පවසයි.


පසුගිය 21 වැනි දා අම්බාල්කුලම් ප‍්‍රදේශයට ආහාර සොයා පැමිණ සිටි පිරිසක් විසින් කිහිපදෙනකු වෙත සපාකෑම හේතුවෙන් ප‍්‍රදේශවාසීන් පිරිසක් විසින් දිවියා සොයා ඝාතනය කර තිබු අතර එම ඝාතනය කිරීම් වීඩියෝ දර්ශන හා ඡායාරූප ඔවුන් විසින් සමාජ ජාලා වෙබ් අඩවිතුලට නිකුත්කර තිබිණි.


දිවියා කළ පහරදීම් හේතුවෙන් වනජීවි නිලධාරියකු ඇතුළු දස දෙනකු තුවාල ලබා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.


සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් හයදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් දෙදෙනකු කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 29 වැනි දා බන්ධනාගාර ගත කර සිටියි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය ක‍්‍රිශ්නපුරම්, මයිල්වානගම් හා ධර්මපුරම් පදිංචි අවුරුදු 22ත් 27 අතර වයසේ පසුවන්නෝ වෙති.