ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව අනුගමනය කරන හමුදා ක්‍රියා මාර්ගයත්, ඉරානය ඊට ප්‍රතිචාර දක්වමින් පෙරළා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග හටගත් යුදමය තත්ත්වය හේතුවෙන්, මැදපරෙදිග කලාපයේ කුඩා දරුවන් දහසකට වැඩි ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.

යුනි​සෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් ඉරානයේ සහ ලෙබනනයේ පමණක් දරුවන් 291 ක් මියගොස් ඇති බවය. ඒ අතර, ඉරානයේ දරුවන් 200 දෙනකු ද ලෙබනනයේ දරුවන් 91 දෙනකු ද සිටින බව පැවැසෙයි.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ පසුගිය 28 වනිදාය. ඉරානයේ බාලිකා පාසලක් ද ඇමෙරිකන් ප්‍රහාරයකින් විනාශ වුණු අතර එම ප්‍රහාරයෙන් මියගිය ගණන 117 කි. ඔවුන්ගෙන් වැඩි දෙනා ද බාලිකාවන් බව ඉරානය චෝදනා නගයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඉරාන හමුදාව ඉලක්කය වැරදීමකින් එම බාලිකා පාසලට පහර දෙන්න ඇතැයි කියාය.

ඊශ්‍රායලය ලෙබනනයට පහර දෙන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට සහාය දෙන්නේ ඉරානය බැවිනි. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනන් වැසියන් 50,000 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි ද වාර්තා වේ.

ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර තීව්‍ර වෙමින් පවතින යුද්ධය මැදපෙරදිග පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන්ට ‘විනාශකාරී’ වටපිටාවක් නිර්මාණය කර ඇති බව ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී ඇත.

මැදපෙරදිග කලාපයේ රටවල මිලියන 200 ක් දරුවන් වාසය කරන බවත්, ඔවුන් ගැන සිතා කටයුතු කිරීමට ඇමෙරිකාව, ඊශ්‍රායලය මෙන්ම ඉරානය ද කටයුතු කළ යුත් නොවේදැයි යුනිසෙෆ් සංවිධානය විමසා ඇත.