(අංජුල මහික වීරරත්න)

වත්මන් පරපුරේ  සතිමත් බව ඇති කිරීම සඳහා  “බුද්ධ රශ්මි" ‍ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ සතිමත් බව පිළිබඳ වැඩසටහනක් අද (20) පෙරවරුවේ  කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය  කිරින්දේ අස්සජි හිමිගේ අනුශාසකත්වයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීමෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්, විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර පාසල්, තාක්ෂණ විද්‍යාල නියෝජනය කරමින් 500 ක පමණ පිරිසක් එක්ව සිටියහ.

මීතිරිගල ආරණ්‍ය සේනාසනවාසී  හෝමාගම ධම්මකුසල හිමි විසින් මෙම වැඩසටහනේදී “සතිමත්බව" වැඩීම  පිළිබඳ සිසුන් ප්‍රායෝගික අභ්‍යාසයන්හි පුහුණු කිරීම සිදු කෙරිණි. 

මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ ගංගාරාම විහාරාධිකාරී කිරින්දේ අස්සජි හිමි කීවෙි  රටේ අනාගතය පවතින්නේ ළමා පරපුර මත වන අතර දරුවන්ගේ හැදියාව, ශික්ෂණය, කුසලතාව හා හැකියාව මත රටේ ඉදිරි ගමන තීරණය වන බවයි.