IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දියවැඩියා රෝගියකු නම් පාද රැක ගන්න

ශ්‍රි ජයවර්ධනපුර  මහ රෝහලේ කායික රෝගි  අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛනාධීකාරි වෛද්‍ය - ආර්.ජයවර්ධන

ඇවිද්ද පය දහස් වටී යන කියමන අපි කොතෙකුත් අසා ඇති මුත් ජීවිතයක පැවැත්ම උදෙසා ක්‍රියාකාරි දෙපා ඉටුකරන මෙහෙය සම්බන්ධයෙන් කවරනම් අර්ථ විග්‍රහයක් කළ හැක්කේද? එසේ නමුදු අබාධිත තත්ත්වයට ලක්වී ක්‍රියාකාරිත්වය අහිමි වූ දෙපා සම්බන්ධයෙන් සමාජයේ විවිධ කතා බහුල වශයෙන් අසන්නට ලැබෙන බව අපි දනිමු.

එදිනෙදා ජීවිතයට නිරෝගී ක්‍රියාකාරිත්වයෙන් යුත් පාද යුගළක් කෙතරම් වැදගත් වන්නේද යන්න වටහාගත් සුළු පිරිසක් අප අතර සිටින මුත් ආබාධිත තත්ත්වයට ගොදුරු වනතෙක් දෙපා සම්බන්ධව නිසි අවධානයක් යොමු නොකරන පිරිසක්ද අප අතර සිටින බව කිව යුතුය. දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ දෙපා , අබාධවලට ලක්වීමේ අවධානම ඉහළ අගයක් ගනී. අබාධවලට ලක්වීමෙන් පාද කපා ඉවත් කිරීමට සිදුවන බහුතරයක් දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෝ වෙති. දියවැඩියා රෝගියකුගේ පාද අහිමිවීමේ අවධානම සාමාන්‍ය පුද්ගලයකුගේ එම අවධානම මෙන් විසිපස් ගුණකයකටත් වඩා ඉහළ වේ. දියවැඩියා රෝගින්ගෙන් හතර දෙනකුගෙන් එක් පුද්ගලයකු ජීවිත කාලයේදී දියවැඩියාව නිසා ඇතිවන දෙපා ආබාධවලට ගොදුරු වේ. මේ අයගෙන් ක් පමණ රෝගීන්ට තමන්ගේ පාද අහිමි වේ.

එබැවින් ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේනම් ඔබේ මුහුණට දක්වන අවධානයට වඩා වැඩි අවධානයක් ඔබගේ දෙපා වලට දැක්විය යුතුයි. මෙහිදී අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ දියවැඩියා රෝගීන්ගේ පාද ආබාධවලට ලක් වන්නේ කුමන හේතු නිසාද? එම ආබාධ හඳුනා ගන්නේ කෙසේද? ඒවා වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද? යන කරුණුයි.

දියවඩියා රෝගීන්ගේ දෙපා වලට සාමාන්‍ය පුද්ගලයකුගේ පාද වලට වඩා වැඩි අවධානමක් ඇත්තේ ඇයි?

මේ සඳහා හේතුවන කරුණු අතරින් ප්‍රධානතම කරුණු 02කි.

01. රුධිර නාළ වලට සිදුවන හානි

02. ස්නායු වලට සිදුවන හානි

රුධිර නාළවලට සිදුවන හානි

මෙම තත්ත්වයේදී සිදුවන්නේ දෙපා වලට රුධීරය සපයන රුධිර නාළවලට දියවැඩියා රෝගය නිසා හානි සිදුවීමයි. මෙහිදී රුධිර නාළවල ඇතුළත කුහරය සිහින් වීම සහ කොලෙස්ටරෝල් තැන්පත් වීම සිදුවේ. මේ හේතුව නිසා දෙපා වලට අවශ්‍ය පමණට ඔක්සිජන් සැපයීම සිදු නොවේ. එම නිසා මෙවැනි රෝගීන් ඇවිදින විට බත් කෙන්ඩ ප්‍රදේශයේ අධික වේදනාවක් හට ගනී.

විශේෂයෙන්ම ඇගිලි කෙළවර ආශ්‍රිතව ඇති පේශි මිය යාමකට ලක්වේ. එසේ මිය ගිය ප්‍රදේශ කළු පැහැ ගැන්වුණු වියළි ප්‍රදේශ ලෙස දිස්වීම, දෙවනුව එම මිය ගිය ප්‍රදේශ බැක්ටීරියා වර්ධනයට ඉතාමත් හිතකර පරිසරයක් ඇති කරන නිසා එම ප්‍රදේශ ආසාදනයට ලක්වී තෙත සහිතව දියර ගලන කළු පැහැති ප්‍රදේශ ප්‍රදේශ ලෙස දිස්වීම. වැනි තත්ත්වය ඇතිවේ.

එසේ ආසාදිත වූ ප්‍රදේශවලට අවශ්‍යය තරම් ඔක්සිජන් නොලැබෙන හෙයින් තුවාල සනීප වීමේ හැකියාව ඉතාම අවම මට්ටමක පවතී. මෙවැනි අවස්ථාවකදී බැක්ටීරියා විනාශකිරීම සඳහා කෙතරම් ප්‍රතිජිවක ඖෂධ ලබා

දුන්නද අදාළ ප්‍රදේශයට රුධිර ගමනාගමනය නිසි පරිදි සිදු නොවන හෙයින් ප්‍රතිජිවක ඖෂධ එම ප්‍රදේශයට ළඟා වීමට අපහසු වෙයි. එම නිසා එවැනි ප‍්‍රදේශ වල ඇති බැක්ටීරියා තව තවත් වර්ධනය වී තුවාල ඔඩු දිවීම සිදුවේ. මෙම තත්වය පාදයේ ඉහළ ප්‍රදේශවලට පැතිරී යාමෙන් අවසාන වශයෙන් රෝගියාගේ ජීවිතය බේරාගැනීම සඳහා පාදය කපා දැමීමට පවා සිදුවිය හැකිය.

ස්නායු වලට සිදුවන හානි

දියවැඩියා රෝගීන්ගේ ස්නායු මොළය හා සුසුම්නාව හැරුණු විට අනෙකුත් ස්නායු වලට සිදුවන ආබාධ මෙලෙස හඳුන්වයි. දියවැඩියා රෝගීන්ගේ මෙම ස්නායු ආබාධ ප්‍රධාන කොටස් 03ක් යටතේ දැක්විය හැක.

1. සංවේදන ස්නායු වලට සිදුවන හානි

පාද වල ඇතිවන සංවේදන හඳුනා ගන්නා ස්නායු සංවේදන ස්නායු ලෙස හඳුන්වයි. දියවැඩියාව නිසා මෙම සංවේදන ස්නායු වලට හානි සිදුවීමෙන්

පාද වල හිරිවැටීමේ තත්ත්වයක් ඇතිවීම.

දැවිලි ස්වභාවයක් ඇතිවීම.

ඉඳිකටුවට අනිනවා වැනි වේදනාවක් ඇතිවීම.

සාමාන්‍යෙයන් දැනෙන සංවේදන (සීතල, උෂ්ණත්ව, වේදනාව) නොදැනීම.

පාද එක ඉරියව්වක තබා ගැනීමේ අපහසුතාවක් ඇතිවීම.

වැනි තත්ත්ව ඇතිවේ. මෙසේ සාමාන්‍යයෙන් අපට දැනෙන වේදනාව, උණුසුම වැනි සංවේදන නොදැනීම හේතුවෙන් රෝගියාගේ පාද වලට දැනෙන කැපීම්, සීරිම්, අධීක තාපයෙන් සිදුවන පිළිස්සීම් වැනි දේ රෝගියාගේ දැනීමකින් තොරවම සිදුවිය හැක.

2. වාලක ස්නායු වලට සිදුවන හානි

මෙම ස්නායු මගින් සිදුකරන ක්‍රියාව වන්නේ පේශිවල මනා ක්‍රියාකාරිත්වයක් ඇති කිරීමයි. මෙම පේශි වල ක්‍රියාකාරිත්වයට හානි සිදුවූ විට සාමාන්‍යයෙන් ඇවිදීමේදී පාදවලට ඇතිවන පීඩනය නිසි පරිදි බෙදී යාම සිදු නොවේ. මේ හේතුව නිසා පාදයේ සමහර ස්ථානවලට අධික පීඩනයක් ඇතිවේ. මෙවැනි ස්ථානවල සම ඝනකම් වීම, ගැටිති සෑදීම, ගල් තැලූම් දිය බුබුළු ඇතිවීම සහ තුවාල ඇතිවීම සිදුවේ.

මීට අමතරව මහපට ඇඟිල්ල හෝ අනිකුත් ඇඟිලි පාදයේ කුඩා ඇඟිල්ල දෙසට ඇදවීම දැකිය හැකිය. තවද පාදයේ ඇඟිලි දිගටම යටිපතුල දෙසටම නැමුණු ස්වභාවයකින් පැවතීම මහපට ඇඟිල්ලේ මුලින් ඇති අස්ථිය පිටතට නෙරා යාම සහ එම ස්ථානය සමහර විට රතු පැහැවී, ඉදිමී, ආසාදිත තත්ත්වයට පත්වීම දැකිය හැක. මීට අමතරව වළලූ කර හන්දිය ආශ්‍රිතව කලාතුරකින් දැකිය හැකි ඉදිමීම සහ එහි අස්ථිවලට හානි සිදුවීමද දියවැඩියා රෝගීන්ට ඇතිවන නම් තත්ත්වය නිසා ඇතිවන තත්ත්වයකි.

1. අනිච්ඡානුග ස්නායු පද්ධතියට සිදුවන හානි

පාදවල තෙත් ස්වභාවයක් රඳවා තබා ගැනීමට පාදවල ස්වේද ග්‍රන්ථිවල මනා ක්‍රියාකාරිත්වයක් වැදගත් වේ. මෙම ක්‍රියාකාරිත්වය අනිච්ඡානුග ස්නායු පද්ධතියේ පාලනයට යටත්වන නිසා මෙම ස්නායු වලට හානි සිදුවූ විට පාද වල සම වියළි සහ තුනී ස්වභාවයකට පත්වේ. එම නිසා සමේ පැලීම්, සීරීම්, තුවාල වීම්, ඉතා පහසුවෙන් සිදුවිය හැක.

ඉහතින් සඳහන් කළ ප්‍රධාන හේතුවලට අමතරව දියවැඩියා රෝගීන්ගේ පාදවල දැකිය හැකි තවත් ප්‍රධාන ආසාදන ලෙස ඇඟිලිකරු අතර දිලීර වර්ධන නිසා එම ප්‍රදේශයේ  සුදු පැහැ ගැන්වීම සහ නියපොතු වල දිලීර ආසාදනය නිසා නියපොතු වල පැහැය, හැඩය සහ වර්ධනයේ සිදුවන වෙනස්වීම් ද මීට අමතරව ඉන්නන් ඇතිවීමේ තත්ත්වයද, පාදයේ බැක්ටීරියා ආසාදන නිසා ඇතිවන නමින් හඳුන්වනු තත්ත්වය ද සුලබව දැකිය හැකිය.

දෙපා රැකගැනීමට ඔබට කළ හැකි දේ

01. දියවැඩියා රෝගීන් රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පාලනය කර ගැනීම ඉතා වැදගත්ය.

02. දිනපතා පාදවල රතුවූ ඉදිමුණු කැපුණු හෝ දිය බුබුළු වැනි ස්වභාවයක් ඇත්දැයි පරීක්ෂා කළ යුතුයි. යටි පතුල් තමාටම නිරීක්ෂණය කළ නොහැකි නම් ඒ සඳහා කණ්ණාඩියක හෝ වෙනත් පුද්ගලයකුගේ සහය ලබා ගත යුතුයි.

03. දිනපතා පාදවලට සුදුසු ව්‍යායාමවල යෙදිය යුතුය.

04. දිනපතා පාද සේදිය යුතු අතර තුවායක් භාවිතයෙන් හොඳින් දෙපා තෙතමාත්තු කළ යුතුයි.

විශේෂයෙන් ඇඟිලි කරු අතර වියළිව තබා ගත යුතුය.

05. පාදයේ යටි පතුල සහ ඉහළ සම ප්‍රදේශයට අධික වියළි බව වළක්වන තෙත් ගතිය පවත්වා ගන්නා ආලේපයක් භාවිතා කළ යුතුයි. මෙහිදී ඇඟිලිකරු අතර මෙම ආලේප භාවිතා නොකළ යුතුයි.

06. පාදයේ ඇඟිලිවල නියපොතු කෙළවර දෙක රවුම් නොකර කෙළින් හැඩයට කපා ගත යුතුයි.

07. නින්දට යන අවස්ථාවල හැර අනෙකුත් සෑම අවස්ථාවකම පාවහන් පැළදීම ඉතාමත් වැදගත් වේ. පාවහන් තෝරා ගැනීමේදී පාදවලට ගැළපෙන ඉදිරිපසින් ඇඟිලි ආවරණය වූ පහසු පාවහන් පැළදිය යුතුයි.

08. දෙපාවල හැඩය වෙනස්වී ඇතිනම් හෝ ඉහතින් සඳහන් විශේෂ ආකාරයේ ආබාධ හටගෙන ඇත්නම් ඒ සඳහා සුදුසුවන, පාද වලට හානි සිදු නොවන පාවහන් සාදවා පැළදිය යුතුය. පාවහන් පැළදීමේදී මේස් භාවිතා කළ යුතුය.

09. මුහුදු වෙරළක හෝ පදික වේදිකාවක හෝ පාරක ඇවිදින විට පිළිස්සීමෙන් වෙන හානි

වළක්වා ගැනීමට නිතරම පාවහන් පැළදිය යුතුය.

10. උෂ්ණත්වය පරීක්ෂාකිරීමකින් තොරව දෙපා උණූ වතුරට දැමීම, උණූ වතුරෙන් තැවීම හෝ සේදීම කිසිවිටකත් නොකළ යුතුය.

11. ඔබේ දෙපාවල රත් පැහැ ගැනීමක්, සීරීම් ස්වභාවයක්, වතුර බිබිලි වැනි ස්වභාවයක් හෝ සම ඝනකම් වීම් ස්වභාවයක් ඇත්තේ නම් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු අතර වසරකට වතාවක්වත් වෛද්‍යවරයා ලවා පූර්ණ දෙපා පරීක්ෂාවක් සිදුකර ගත යුතුය.

12. ගල් තැලූම් හට ගෙන ඇත්නම් තම නිවසේදී කපා දැමීමට උත්සහ නොකළ යුතු අතර වෙළඳපොළේ ඇති ප්ලාස්ටර් වර්ග වෛද්‍ය උපදෙස් වලින් තොරව භාවිතා කිරීමද නොකළ යුතුය. මේ ආදී වශයෙන් ඔබගේ දෙපාවල නිරෝගී බව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔබට කළ හැකි බොහෝ දේ ඇති බව කිව යුතුයි. දියවැඩියා රෝගියකු වශයෙන් ඔබගේ දෙපා සම්බන්ධයෙන් එසේ දැඩි අවධානයක් යොමු නොකළ හොත් ඔබගේ දෙපා නොසිතූ අබාධවලට ගොදුරු විය හැකි අතර අවසාන වශයෙන් ඔබට දෙපා අහිමි වීමද සිදුවිය හැක.

 



අදහස් (0)

දියවැඩියා රෝගියකු නම් පාද රැක ගන්න

සරත් රිටිගමවත්තගේ Saturday, 05 March 2016 10:59 AM

වැදගත් ලිපියක් (බ)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site