IMG-LOGO

'දෙයියෝ දනී මං නොදනී' කරළියේ වරුවක්...

2016-09-24-ent-119

අඩු නැතුව දවස පුරාම බෙදන අව් රශ්මියට ගත වගේම හිතත් පිච්චෙන්නේ තරගයට වගේ. දැන් ඒ විරාජමානව අහස් තලේ බලය පතුරවපු හිරු රාජයා කෙමෙන් කෙමෙන් බටහිර අහසින් බැස යන්න පටන් අරන්. මුළු හැන්දෑ අහසම රන්වන් පාටයි. ඒ රන් පාටින් බෙදෙන හැන්දෑ සුන්දරත්වය මිනිස්සුන්ට එපා වෙන්නේ හවස් ජාමේ මුළු කොළඹම වෙළා ගන්න වාහන තදබදය නිසා. අපිත් දැන් ගාලූ පාර දිගේ දෙහිවලට ගමන පටන් අරන් හෝරා එක හමාරකට ආසන්නයි. තවමත් අපේ අදාළ ගමනාන්තයට ළඟා වෙන්න අපට බැරි වෙලා. අපේ රථය හිමින් හිමින් ඉදිරියට ඇදෙන්නේ නාකි බල්ලෝ කොළඹ යන්න වගේ. ඒ අතරේදී තමයි ”දෙයියෝ දනී මන් නොදනී” නාට්‍ය අධ්‍යක්ෂ ගුණපාල කරුණාපතිරණ මට අමතන දහවැනි දුරකතන ඇමතුමත් පැමිණෙන්නේ.

 

මල්ලි දැන් කොහේද ඉන්නේ. ගයත‍්‍රි ඩයස්ට තව ෂූට් එකක් තියෙනවලූ. මල්ලිලා එන නිසා තමයි මං මේ ගයාත‍්‍රිව කියලා නවත්තා ගෙන ඉන්නේ. ඉක්මණට එනවා නේද?

 

2016-09-24-ent-124

ගුණපාල කරුණාපතිරණ දශක ගණනාවක සිට ලාංකීය නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් සිය දහඩිය කඳුළු කරළිය මත මුදා හළ සොඳුරු නාට්‍යකරුවෙක්. ඔහු මීට පෙර මැද පෙරදිග පාර දිගේ, සැමදා නියං, එළ පඹයා, පුරන් කෙතේ පඹයා, පියෙක් නැති පුතෙක්, තුන්කල් වැනි නාට්‍ය නිර්මාණ රැුසක් වේදිකාවට ගෙනා නිර්මාණකරුවා. ගුණපාලගේ අලූත්ම නාට්‍ය නිර්මාණය වන‏ ”දෙයියෝ දනී මං නොදනී” තුළින් ගුණපාල රටේම අවධානයට ලක්වන විශේෂතාවක් එක් කරලා. ඒ තමයි ජනප‍්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී ගයාත‍්‍රි ඩයස්ව හා හා පුරා වේදිකා රංගනයට දායක කර ගැනීම. මේ නාට්‍යයේ රජ බිසවගේ ප‍්‍රධාන භූමිකාවට පණ පොවන්නේ ගයාත‍්‍රි ”දෙයියෝ දනී මං නොදනී” පළමු වේදිකා දිග හැරුම මෙම මස 24 සවස 3.30 ට හා 6.30 ට දෙහිවල ජයසිංහ සමරු රඟහලේදී රංගගත වෙනවා.

ඒ කාරණය නිමිත්ත කර ගනිමින් ”නාට්‍ය රිහර්සල්” සඳහා ”දෙයියෝ දනී මං නොදනී” කණ්ඩායම දෙහිවල දර්ශනිකාරාම විහාරයේ අපේ ගමනාන්තය සටහන් වන විට රන් පාට අහස සම්පූර්ණයෙන්ම අඳුරු අහසකට පරිවර්තනය වී හමාරයි. කට්ටිය තවමත් ? බෝ වුණු බවවත් ගණන් නොගෙන එක දිගට නාට්‍ය පුහුණුවීම්වල යෙදිලා ඉන්නේ නාට්‍යයේ මංගල දර්ශනය ආසන්නයටම පැමිණ තිබෙන නිසයි.

දෙවිදු චරිතය ඉදිරිපත් කරන නළුවා විරාජමාන විදියට වේදිකාව මැදට ඇවිත් හිටගත්තේ සිය අභිමානවත් තේජස අප හමුවේ ඉදිරිපත් කරමින්. ඔහු සිය මිහිරි ගායනය ආරම්භ කළේ තමන්ගේ ප‍්‍රතාපවත් ගායන පෞර්ෂය විහිදුවාලමින්.

පොල් ගෙඩි තරමට තිබුණත් නෙරවා ඔළු ගෙඩිය

ගැහැනියකට මොළයක් නෑ හැදි මිටකට වැඩිය.

ඒ ගායනයට දෙවිදුගේ බිසවත් ප‍්‍රති උත්තර දෙන්නේ මේ විදියට.

සක්කර දෙවියනේ අනේ ඔබ දන්නා ඉටිගෙඩිය

ගැහැනියකගේ මොළය ලොකුයි මහ මෙරටත් වැඩිය.

ඒ ජවනිකාව තවත් ගීත ගණනාවකින් සම්පූර්ණයි. ඒ සියල්ල මතකයෙන් සතර අභිනයන්ගෙන් පරිපූර්ණව ඉදිරිපත් කිරීම නෙත් දෙකට එක් කරන්නේ අපූරු අලංකෘත බවක්.

මේ අතරේ තවත් තැනක අන්ධ රජතුමාට රඟපාන මහේෂ් හේමචන්ද්‍ර පෙරේරා හා බිසවගේ චරිතය රඟපාන ගයාත‍්‍රි ඩයස් හිමින් හිමින් පියවර ඉදිරියට තබන්නේ සම්පූර්ණයෙන් තමන්ගේ චරිතවලින් මිදිලා නාට්‍යයේ චරිතවලට ආරූඪ වෙලා.

අන්ධ රජතුමා තමන්ගේ බිසව මොන තරම් පරිස්සම් කරනවාද කියනවා නම් රජ වාසලේ සේවයටත් කාන්තාවන් තමයි බඳවා ගෙන තිබෙන්නේ. මොන තරම් වැට කොඩොලූ බැන්දත් අන්ධ රජතුමාට බිසව ආරක්ෂා කර ගන්න නම් ලැබෙන්නේ නැහැ. ඇය රජතුමාගේ අන්ධ නෙත් දෙකත් වහලා වැද්දෙකු සමග ප්‍රේමයෙන් බැඳෙනවා. ඒ විතරක් නොවේ වැද්දට කියලා ටොකුත් අන්නවනවා.

අහිංසක අන්ධ රජු කෙනෙකුට මෙහෙම කරන්න හොඳ ද කියල ගයාත‍්‍රි ඩයස්ට මං මුල්ම පැනය යොමු කළා.

දීර්ඝ කාලයක ඉඳන් වේදිකා නාට්‍යයක රඟපෑමේ පිපාසයක් තිබුණා. ඒකට හේතුව අනිත් මාධ්‍යයන්වලට වඩා සජීවී රංගනයක වේදිකාවේදී අපට නිරතවීමට හැකිවීම වේදිකා නාට්‍යයකදී දර්ශනයක් දර්ශනයක් ගානේම අපේ අඩුපාඩු සකසා ගන්න අපට පුළුවන්. වේදිකාවෙන් ලැබෙන ඒ වෙනස් අත්දැකීමට මම ගොඩාක් කැමැති.

තවත් රූප ගත කිරීමකට පිටත්ව යෑමට සූදානමින් සිටින ගයාත‍්‍රිව තවත් වෙහෙසට පත් නොකර නාට්‍යයේ නියමුවා වන ගුණපාලව මා අසලින් හිඳවා ගන්නේ නිර්මාණයේ තවත් තොරතුරු දැන කියා ගැනීමේ අටියෙනි.

මේ නාට්‍යයට මේ අපූරු නම ලැබුණේ කොහොමද ගුණපාල නාට්‍යවේදියාට මා ඉදිරිපත් කළ පළමු පැනය එයයි.

මේ නාට්‍ය පටන් ගන්න ඉන්න දවස්වල හදිස්සියේ මා අසනීප වී රෝහල් ගත වීමට සිදු වුණා. එක දවසක් නාට්‍යයේ පිටපත් රචකයා වන සංජය නුවන් සේනාධීර හා මම කතා කර කර ඉන්න විට බිරිඳ එතනට පැමිණියා. සංජයගෙන් තමයි අපි නාට්‍යයක් කරන බව බිරිඳ දැන කියා ගත්තේ. ඒ වෙලාවේ ඇයගේ මුවින් ”දෙයියෝ දනී මං නොදනී” කියලා පිට වුණා. මට හිතුණා මගේ කතාවත් එක්ක නාට්‍යයට ඒක ගැළපෙනවා කියලා.

ගුණපාල මීට පෙර නිර්මාණය කළ සෑම නිර්මාණයකටම පදනම සැපයුවේ තමන් ජීවත් වන අවට පරිසරයේදී විඳි අත්දැකීම් සමුදායයි. අලූත් නාට්‍යයේ තේමාවන් එහිම දිගු පියවරක් යැයි මම විශ්වාස කරමි. ගුණපාලට ඔහුගේ හඬ අවදි කරන්නට ඉඩ ලබාදුණි.

‘‘මම කවදාවත් මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් නාට්‍ය කරලා නැහැ. සමාජයට පණිවුඩයක් දිය හැකි නිර්මාණ තමයි මම කරලා තිබෙන්නේ. කවුරු වරදක් කළත් දඬුවමක් ලැබෙනවා කියන පණිවුඩයයි මේ නාට්‍යයෙන් මම දීමට උත්සාහ කළේ.

ඒ වගේම මත් පෙතිවලට ඇබ්බැහි වෙන්න එපා කියන පණිවුඩය, වයස් පරතරයක් ඇතිව විවාහ වූ විට ඇති වන ගැටලූ ඇතුළු පණිවුඩ රාශියක් මේ නාට්‍යයේ අන්තර්ගත කිරීමට මම උත්සාහ කළා.’’

ගයාත‍්‍රි පෙරටුකර ගනිමින් ඞීමන් හෙට්ටිආරච්චි, රූපා ගෝමස්, හෙෂාන් එදිරිසූරිය, මල්කි ප‍්‍රනාන්දු, සංජය සේනාධීර, නිලූෂිකා මධුවන්ති, නයනි සමරවීර, මධුෂ්ක ගිම්හාන් ඇතුළු නළු නිළියෝ රාශියක් ”දෙයියෝ දනී මං නොදනී” සඳහා දායක වෙති. ඒ පිරිසත් සමග වේදිකාවේ බොහෝ දුරක් යෑම ගුණපාල කරුණාපතිරණ නාට්‍යකරුවා ඇතුළු මුළු කණ්ඩායමේම අදහසයි.

 

අමිල චින්තක ගමගේ

 

2016-09-24-ent-123
2016-09-24-ent-122
2016-09-24-ent-121
2016-09-24-ent-120



අදහස් (0)

'දෙයියෝ දනී මං නොදනී' කරළියේ වරුවක්...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site