(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ )

ඇමෙරිකානු ඩොලර් විසි තුන් ලක්ෂයක් වටිනා දුඹුරු සීනි  මෙට්‍රික් ටොන් 6323 ක්  පසුගිය කාලයේදී නියැදි පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇතැයි   ජාතික විගණන කාර්යාලය පවසයි.

ආයතන අසූ නවයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචිවී අනුකූලතා සහතික ලබා නොගෙන 2019 -2021 අතර කාලයේදී  අවස්ථා 1014කදී දුඹුරු සීනි ගෙන්වා ඇතැයි විගණන වාර්තාවක සඳහන්වේ.

මේ අනුව දුඹුරු සීනි සම්බන්ධයෙන්  ඒ කාල සීමාවේදී විස්තරාත්මක නියැදි පරීක්ෂාවන් කර ඇත්තේ අවස්ථා 49කදී පමණක් බවද  වාර්තාවේ දැක්වේ.

මේ අතර ලියාපදිංචි නොවූ නිෂ්පාදන ආයතන තිස් එකක් යටතේ ඇමරිකානු ඩොලර් කෝටි නවයකට වැඩි වටිනා ටින් මාලු බහාලුම් හතළිස් තුන් ලක්ෂයක් පමණ ගෙන්වනු ලැබුවද මෙම ටින් මාළු සඳහා සවිස්තරාත්මක නියැදි පරීක්ෂාවන් කර නොතිබුණු බව විගණන අංශ පවසයි.

නිෂ්පාදන ආයතන 36කින් අවස්ථා 1522 කදී සන්නාම හතළිස් අටක් යටතේ ටින් මාළු ගෙන්වා තිබූ අතර නිෂ්පාදකයන් පස්දෙනකු සන්නාම විස්සක් සඳහා පමණක් ලියාපදිංචි වී තිබුණු බව එම වාර්තාවේ සඳහන් වේ.

ආනයනික භාණ්ඩ වෙළෙඳ පොළට නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමැතිය මත වන බැවින් ප්‍රමිති ආයතනය පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් ආනයනය භාණ්ඩ වෙළෙඳපොළට  නිකුත් නොවන බවට තහවුරු කරගැනීම අධීක්ෂණය කිරීමට සුදුසු මාර්ගෝපදේශකයක් හෝ ක්‍රමවේදයක් ආයතනය සතුව නොමැති බව  විගණන අංශ  නිරීක්ෂණය කර  ඇත.