(අජිත්ලාල් ශාන්තඋදය සහ හම්බෙගමුව මහින්ද අබේරත්න)
ආරවුලකින් පසු තම මස්සිනාගේ මරණය සම්බන්‍ධයෙන් මියගිය තැනැත්තාගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගත් බව හම්බෙගමුව පොලීසිය අද 6දා සවස පැවසීය.
හම්බෙගමුව පොලිස් වසමේ දහයියාගල පදිංචි ඊ. එච්. සමන්ත ගුණතිලක (43) නැමැති දෙදරු පියකු මියගොස් ඇති බව පොලිසිය කියයි.
දෙමස්සිනාලා අතර ඊයේ (5) දා රාත්‍රී සිදුවු ආරවුලක් දිග්ගැස්සී මියගිය තැනැත්තා රෝහල් ගත කිරීමට 1990 සුවසැරිය එනතුරු ත්‍රිවිල් රථයකින් ඉදිරියට රැගෙනවිත් තිබෙන බව ද පොලීසිය කීවේය.
ආරවුල සිදුවු ඔවුන් පදිංචි නිවස ප්‍රධාන පාරට කිලෝමීටරයක් පමණ ඇතුළට වන්නට පිහිටා ඇති බව ද පොලීසිය කීවේය.
සුවසැරියේ කාර්ය මණ්ඩලය රෝගියා පරීක්‍ෂාකර මියගොස් ඇති නිසා ඔවුන් ආපසු ගොස් තිබේ. පසුව මියගිය අය සමග ත්‍රිරෝද රථය හම්බෙගමුව වේලිඔය ප්‍රධාන පාර අයිනේ නවත්වා සිද්ධිය පොලීසියට දන්වා තිබේ.
පොලීසිය එහි යනවිටත් සිරුර ත්‍රීරෝද රථය තුල තිබී ඇත. පසුව මහේස්ත්‍රාත් පරීක්‍ෂණය පවත්වන තුරු සිරුර එතැන තිබුණි.
සිද්ධිය සම්බන්‍ධයෙන් හම්බෙගමුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩී.එම්. දසනායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක අයි.එල්.එන්. තෙන්නකෝන් මහතා ඇතුලු නිලධාරීහු පරීක්‍ෂණ ඇරඹූහ.
මියගිය තැනැත්තා සහ ඔහුගේ බිරිඳගේ සහෝදරයා අතර ඇතිවු ආරවුලකින් පසු මියගිය තැනැත්තා අසනීප ව ත්‍රිරෝද රථයක දමා රෝහලට ගෙනයාමට 1990 සුවසැරිය ගිලන් රථය එනතෙක් රැගෙන ඇවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි. ආරවුල ඇතිවු ආකාරය සහ මියගිය හේතුව පිළිබඳව අනාවරණය කරගැනීමට විමර්ශන පවත්වන බව පොලීසිය පැවසුවේ ය.
මුලික විමර්ශන අනුව මියගිය තැනැත්තාගේ මස්සිනා වැඩිදුර ප්‍රශ්න කිරිමට අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කීවේය. හම්බෙගමුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
COMMENTS