(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල)

ගාල්ල දුම්රිය ස්ථානයේ නවතා තිබු ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියකින් ඉන්ධන සොරකම් කළ එම දුම්රිය ස්ථානයේ  දුම්රිය භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ල මාගාල්ලේ පිහිටි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩාව වෙත පැමිණි මෙම දුම්රිය ඉන්ධන තොගය එහි ගබඩාවට බෑමෙන් පසුව නැවත ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණ නවතා තිබී ඇත.

ඊටපසුව මෙම දුම්රිය ස්ථානයේ සේවය කරන දුම්රිය භාණ්ඩ  පරීක්ෂකයින් දෙදෙනා විසින් දුම්රියේ ඉන්ධන ටැංකියේ ඉතිරිව තිබු ඉන්ධන ලීටර් 5.05 ක් සොරකම් කර ගෙන ඔවුන්ගේ කුටිය වෙත එමින් සිටියදී දුම්රිය ආරක්ෂක නිලධාරි චන්ද්‍රදාස මහතා විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාරදී තිබේ.

සැකකරුවන් දෙදෙනා අද (15) ගාල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.