(යොහාන් භාසුර)

දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (25) පස්වරුවේ අවසන් කළ බවත් ඔවුන් අද පස්වරු 4.00 ට සේවයට වාර්තා කිරීමට පොරොන්දු වූ බවත් දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.

ඒ අනුව අද පස්වරුවේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමේ අවස්ථාව හිමිවන බව ද දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරීවරයා කීය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ අද පැවැති සාකච්ඡාවේදී දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් මෙම එකඟතාවට පැමිණි බව කී  ඉදිපොළගේ මහතා මෙම සිද්ධිය අධිකරණය හමුවේ තිබෙන කරුණ වීම හේතුවෙන් මැදිහත්විය නොහැකි යැයි වර්ජනයේ නිරතව සිටින පිරිසට පැවසූ බව ද සඳහන් කළේය.

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින විදුලි කාර්මික ශිල්පියා සම්බන්ධයෙන් නීතිමය කටයුතුවලට සහය දැක්වීමට සාමාන්‍යාධිකාරීවරයා එකඟ වූ බව කී ඉදිපොළගේ මහතා පැවසුවේ පහර කෑමට ලක්වූයේ යැයි කියන උප නියාමකවරයා ද මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බවත්ය.