(මහින්ද නිශ්ශංක)

දුම්රිය උප නියාමකවරයකු හා දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණයක් සිදු කිරීම සඳහා දුම්රිය උසස් නිලධාරීන් තිදෙනකු ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස් ගුණසිංහ මහතා විසින්  පත්කළ මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල ) එච්.එච්. ඩී.එස්.එල්.ජයතිලක මහතා කටයුතු කරයි.

මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එම් .අයි. ජයතිලක හා නියෝජ්‍ය ආරක්ෂක හමුදා අධිකාරි ජේ.එම්.එන්.එස්. ජයසේන යන මහත්වරු පත් කර තිබේ.

දෙමටගොඩ දුම්රිය ප්‍රධාන ඉංජීනේරු ධාවනාගාරය ආසන්නයේදී පෙරේදා  සිදු වූ දුම්රිය නිලධාරී ගැටුම සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ මහතා කමිටුවට උපදෙස් දී ඇත.

මේ අතර දුම්රිය උප නියාමක හා දුම්රිය ආරක්ෂක හමුදා සැරයන් ගැටුම සම්බන්ධයෙන් දැනට ආරක්ෂක හමුදාවේ සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවැසීය.