අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන් සැකකරුට ඇප ලබාදීම වෙනුවෙන්  අල්ලස්   ලබා ගත්තේ යැයි කියන පැමිණිල්ලේ සැකකරුවෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ආර් .දුමින්ද සිල්වා  නම්කරන බව කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත්  අසංග  එස් බෝදරගම  මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද (03)පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මොහොමඩ් මොහිදීන් සප්රාස් නවාස්  නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිෂම එසේ පැවසීය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ දෙමටගොඩ රුවන් නමැති සැකකරුට ඇප ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවය.

නිවාස සංවර්ධන අධිකාරියේ  සභාපතිව සිටි ආර් දුමින්ද සිල්වාගේ අනුදැනුම මත මෙම අල්ලස් මුදල් ලබා ගෙන ඇතිබවත්,මීට අමතරව රුපියල් ලක්ෂ සීයක අල්ලස් මුදලක් ලබාගත් තවත් සැකකරුකු මේ වන විට මියගොස් ඇති බවත් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවකු ලෙස නම් කරන ආර්. දුමින්ද සිල්වා සම්බන්ධයෙන්   විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට නියෝග කළේය.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කළේය.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මොහිදීන් සප්රාස් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම මෙසේද පැවසීය.