භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණ දඬුවම හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා අතරින් තුන්වැනි විත්තිකාර දෙමටගොඩ චමින්ද පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයට මාරු කර යැවූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පවසයි.

දුමින්ද සිල්වා ඇතුළු ඉතිරි විත්තිකරුවන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ සී3 සිර මැදිරියේ රඳවා තැබීමට නියෝග කළ බවද ඒ මහතා කියයි.

මේ වනවිට වැලිකඩ, දුම්බර හා මහර බන්ධනාගාරවල මරණ දඬුවමට නියමවූ හා ඊට එරෙහිව අභියාචනා මත සිටින සිරකරුවන් 1200කට ආසන්න බවද කියති.

මේ අතර නඩු තීන්දුවෙන් පසු වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එනු ලැබූ දුමින්ද සිල්වා හැර සෙසු විතිත්තිකරුවන් තිදෙනාට ඒ මොහොතේම මරණ දඬුවම නියම වූවන් සඳහා වන ඇඳුම ලබාදී සිරමැදිරියට යවා ඇතත් දුමින්ද සිල්වා කෙළින්ම ගොස් ඇත්තේ බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලය වෙත බවද වාර්තාවේ.

මරණ දඬුවම නියම වූ හෝ වෙනත් කිසිදු සිරකරුවකුට බන්ධනාගාරය ඇතුළත වෙනත් ස්ථානයකට යෑම බරපතල වරදක් බව එහි නිලධාරීහු කියති.

බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයේ පැයක පමණ කාලයක් රැඳී සිට එළියට පැමිණි පසු දුමින්ද සිල්වා ට මරණ දඬුවම නියමවූවන් සඳහා වන ඇඳුම ලබාදී සිර මැදිරියට රැගෙන ගොස් ඇතැයි කියති.