වරෙන්තුවක් නැතිව වරෙන්තුවක් ඇති බව කියමින් ගණේමුල්ල පොලිසියෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පහර දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද (04) පරීක්ෂණයක් ආමර්භ කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා සහ මාධ්‍යවේදීන් ලබා දුන් තොරතුරු පදනම් කර ගනිමින් පැමිණිල්ලක් නැතිවම විමර්ශන ආරම්භ කළ කොමිසම අද (04) පහරකෑමට ලක්වූ පුද්ලගලයා සොයා ගොස් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

එලෙස පහරකෑමට ලක්වූයේ ගණේමුල්ල කිරිඳිවිට පදිංචි නිහාල් අරුණ ශාන්ත (52) නම් එක්දරු පියෙකි.

පසුගිය පළමු වැනි දා රාත්‍රී 11.30ට පමණ සිවිල් ඇඳුමෙන් සහ නිල ඇඳුමෙන් ගිය පොලිසියේ පිරිසක් ඔහුගේ නිවසට ගොස් පොලිසියට රැගෙන යෑමට උත්සාහ කරද්දී තමා කුමන හේතුවක් මත පොලිසියට ගෙන යන්නේදැයි ඇසූ වරෙන්තුවක් ඇතැයි පොලිසියෙන් කියා තිබේ.

තමාට වරෙන්තුවක් තිබිය නොහැකි බව කියද්දී පොලිසිය   පහර දී රැගෙන ගොස් පසුව රෝහලට ඇතුළු කළ බව ඔහු කොමිසමෙන් ප්‍රකාශ ගනිද්දී කියා ඇත.

පොලිසිය නිසි අවබෝධයක් නැතිව වරෙන්තුව අතේ නැතිව වැරදි පුද්ගලයන් අත්අඩංගුවට ගත් අවස්ථා මීට පෙර ඇති බවත් ජෙරාඩ් මර්වින් නඩු තීන්දුවෙන් ඒ බව පැහැදිලි වන බවත් මානව හිමිකම් කොමිසම කියයි.