(එස් ඩී කොඩිකාර )

දෙණියාය අධ්‍යාපන කලාපයේ පාසල් හතරක් තුළ ළමුන් අතර සීග්‍රයෙන් පැතිර ගිය වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ එම පාසල් හතර ලබන හෙට ( 13) සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන් පතිරණ මහතා පවසයි.

ඒ අනුව, පාසල් නැවත ආරම්භ කිරීමට පෙර පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීම හා සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් සකස් කිරීම සඳහා ඊයේ (11) සහ අද (12) දිනයේ අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ද සඳහන් කරන ලදි.

එමෙන්ම, දැනට නිවාඩු ලබා දී ඇති පෙර පාසල් මෙම සතිය තුළ ද වසා තැබෙන අතර, පාසල් සහ පෙර පාසල් නැවත ආරම්භ කරන දිනයට පෙර පිරිසිදු කිරීමේ හා සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සඳහා දායක වීමට කැමති පුද්ගලයින් හා ආයතන දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාලය සමඟ සම්බන්ධ වී සහයෝගය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටී.