(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා මේ සභාවේදී පෙර දිනෙක තමාටත්  සජිත් ප්‍රේමදාස  විපක්ෂනායකවරයාගේ  බිරිඳවන ජලනි ප්‍රේමදාස මහත්මියටත් අපහාසවන ආකාරයෙන් අදහස් ප්‍රකාශ  කළ  හෙයින්  ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කර සුදුසු  ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්  මන්ත්‍රීනී  රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන්  පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළාය.

ඇය මෙම ඉල්ලීම කළේ සභාවේ  කටයුතු ආරම්භයේදී  වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.

තමාටත් ජලනි ප්‍රේමදාස මහත්මියටත් අපහාස වන ආකාරයෙන්  කළ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසද ඇය ඉල්ලීමක් කළාය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  මේ අපහාසාත්මක ප්‍රකාශය ගැන ඒ අවස්ථාවේදී මුලසුනේ සිටි මන්ත්‍රීවරයාට දැනුම් දුන් මොහොතේදී  ඔහුට  එය නොඇසුණු බව ප්‍රකාශ කළේ යැයිද  එසේ කටයුතු කළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ගයක් ගන්නැයි  තමා ඉල්ලීමක් කරන්නේ යැයිද  ප්‍රකාශ කළේය.

තමා මේ සම්බන්ධයෙන් හෙට (23) ප්‍රකාශයක් නිකුත් කරන බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට  තමාටද අවස්ථාවක් ලබා දෙන්නැයි ජානක තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා  කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඒ සඳහා හෙට (23) අවස්ථාවක් ලබා දෙන කතානායකවරයා මෙහිදී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට දැනුම් දුන්නේය .