(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නෙළුම් කුළුණට ගත් ණය ගෙවන්නට නම් දිනකට එම කුළුනෙන් ඩොලර් 41000 ක් හෙවත් රුපියල්  එක්කෝටි පනස් ලක්ෂයක් ඉපැයිය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

"තව්තිසාවේ" ඇත්ත තත්ත්වය මෙය බව කී චම්පික රණවක මහතා නෙළුම් කුළුණෙන් දිනකට රුපියල් මිලියන තුනක් සෙව්වා යැයි සතුටු විය නොහැකි බව ද සඳහන් කළේය.

නෙළුම් කුලුන ඉදිකිරීමට ඩොලර් මිලියන 104ක් වැය වී තිබෙන බව කී මන්ත්‍රීවරයා  ඉඩමේ සිටි දුගී පැල්පත්වාසීන්ට ගෙවල් දෙන්න එක  පවුලට මිලියන 4.5 ගානේ වැය වූ බව සඳහන් කළේය. කුළුණේ පොළිය,රක්ෂණ ගාස්තු සහ අනෙක් වියදම් එකතු කළ විට තවත් ඩොලර් මිලියන 56ක් ඊළඟ අවුරුදු පහේ දී ගෙවිය යුතු බවද චම්පික රණවක මහතා පැවසීය.

ආදායම් තියෙන රටක් නම් මෙවැනි දේ සඳහා වියදම් කළාට ප්‍රශ්නයක් නැති බව කී චම්පික රණවක මහතා බංකොලොත් රටකට මේවා ගැලපෙන වැඩ නොවේ යැයි ද කීය.

පිටතින් ලස්සනට පෙනෙන මෙවැනි ව්‍යාපෘති වල පසුපස මහා කරුම  කතාවක් සැඟවී තිබෙන  බවත්  ශ්‍රී ලංකාවට උරුම වී ඇති බංකොලොත්භාවය ද එම කරුම කතාවේ සැඟවී ඇති බවත් සඳහන් කළේය.

අවසානයේ මේ හැම කරුමයකම බර දරන්නට සිදුවන්නේ රටේ දුප්පත් අහිංසක ජනතාවට බව ද පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්  චම්පික රණවක මහතා සඳහන් කළේය.