(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මුදල් ඇමතිගේ අවසර නොගෙන කළ ඉන්ධන මිල වැඩි කිරීම නීත්‍යානුකූල නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය.

"මා මේ ප්‍රශ්නෙ අහන්නෙ අගමැතිතුමාගෙන්. වැඩබලන මුදල් ඇමති ලෙස පත් කර තිබෙන්නේ කවුද?මුදල් ඇමති තුමාගේ අවසරය නැතිව තෙල් මිල වැඩි කරන්න බැහැ.තෙල් මිල වැඩිකිරීම සඳහා ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා ඒ අවසරය ලබා ගත්තාද?

සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා:-

තෙල් මිල වැඩිකිරීම සඳහා ඛනිජ තෙල් ඇමති තුමා කලින්  ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර වොෂින්ටනයට කතා කර මුදල් ඇමතිතුමාගෙන් එකඟතාවය ලබා ගෙන තිබෙනවා.එහි අවශ්‍ය කඩදාසි මා ඔබතුමාට ලබාදෙන්නම්.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා:-

මෙම මිල වැඩි කිරීමට පෙර ජනාධිපතිතුමාගෙන් ඊට අනුමැතිය ලබාගෙන මේ වන විට විදේශගත වී සිටින මුදල් අමාත්‍යවරයා  ඒ පිළිබඳව දැනුවත් කොට  මුදල් අමාත්‍යංශ ලේකම් ද දැනුවත් කොට මිල වැඩි කිරීමට අනුමැතිය ලබාගෙන තිබෙනවා.

හර්ෂ ද සිල්වා මහතා:-

දුරකථනයෙන් ,එස්.එම්.එස් පණිවිඩ වලින් මිල වැඩි කිරීමේ නීති සම්පාදනය කරන්න බැහැ.මුදල් ඇමති කෙනෙක් නැතිනම් වැඩබලන ඇමති කෙනෙක් සිටිය යුතුයි.නියෝජ්‍ය ඇමති කෙනෙක් සිටිය යුතුයි.එහෙම කෙනෙක් නැහැ.ටෙලිෆෝන් එකෙක්  අනුමැතිය ගැනීමේ සම්ප්‍රදායක් මේ රටේ නැහැ.මෙි තෙල් මිල වැඩි කිරීම නිත්‍යානුකූල නැහැ.

කංචන විජේසේකර මහතා:-

ගැටලුවක්  තිබේ නම් මේ තීරණය  අධිකරණයේ අභියෝගයට ලක්කරන්න.

හර්ෂ ද සිල්වා මහතා:-

ව්‍යස්ථාව අනුව මුදල් බලය ලබාදී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.අධිකරණයට නොවේ.ජනාධිපතිට නොවේ. පාර්ලිමේන්තුව හරහා පත්කර තිබෙන මුදල් ඇමතිටයි.මුදල් ඇමතිගේ අනුමැති අවශ්‍ය බව 66 වන වගන්තියේ පැහැදිලිව තිබෙනවා.ඉන්ධන මිල වැඩි කිරීමට පෙර 17 වෙනිදා ගත් අනුමැතිය සභාවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා:-

අප ඒ ලියවිල්ල ඉදිරිපත් කරන්නම්.