(සුජිත් හේවාජුලිගේ )

නොයෙකුත් ත්‍රස්තවාදී  ක්‍රියාකාරකම් වැලැක්වීම සඳහා විධිවිධාන ඇතුළත්   ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පතක් රජය  විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

එම නව කෙටුම්පත පිළිබඳ පිළිබඳ ගැසට් නිවේදනය අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ  නියෝග පරිදි  පෙරේදා(16) නිකුත් කරනු ලැබීය.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මේ වර්ෂයේ මාර්තු මස 22 වැනිදා ගැසට් පත්‍රයකින් මුලින්ම ප්‍රකාශයට පත් කෙරිණ. නමුත් එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති  සම්බන්ධයෙන්  බොහෝ පාර්ශ්වවලින් විරෝධතා එල්ලවීම හේතුවෙන් කෙටුම්පත සංශෝධනය කිරීමට රජය පියවර ගත්තේය.

බොහෝ පාර්ශවයන්ගෙන් අදහස් ගෙන නව කෙටුම්පත සකස් කර ඇතැයිද මුල් පනතේ තිබුණු අඩුපාඩු නව පනතෙන් නිවැරදි කරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පළමු වර කියවීමෙන් අනතුරුව ඊට එරෙහිව විරෝධතා ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ හැකි බව  අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.