(ඩයනා උදයංගනී)

තොරතුරු තාක්ෂණ කර්මාන්තය හරහා පසුගිය 2021 වසරේ දී ඇමරිකානු ඩොලර් කෝටි 150ක විදේශ විනිමය උපයා ගැනීමට හැකි වී ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

ඉදිරියේදී තොරතුරු තාක්ෂණ අංශය, රටට විදේශ විනිමය උපයන ප්‍රධාන කර්මාන්තයක් බවට පත්කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ  රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ පුරප්පාඩු 20,000 පමණ ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා එම කර්මාන්තය ට අවශ්‍ය  තරුණ තරුණියන්  පෙළ ගැස්වීම  තම අමාත්‍යාංශයේ  වගකීමක්  බව ද කීය.

සමස්තයක් ලෙස  ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ වී ඇති බව කී රාජ්‍ය ඇමතිවරයා පෞද්ගලික වශයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින 50,000 ක පමණ පිරිස ද රටට  විදේශ විනිමය උපයා ගැනීමට විශාල වශයෙන් දායක වී සිටින බව පැවසීය.

ලබන වසරේ දී තරුණ තරුණියන් 34,000 ක් මෙම ක්ෂේත්‍රයට යොමු කිරීමට  සැලසුම් කර ඇතැයි ද කනක හේරත් මහතා ප්‍රකාශ කළේය.