(විනීතා එම්  ගමගේ)

කොරෝනා වසංගතය ලොවපුරා පැතිර යාමත් සමග ඉකුත් වසරේ පෙබරවාරියේ සිට නරත කර තිබු කොරියාවේ රැකියා සඳහා අළුතින් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම යළි ආරම්භ කර ඇතැයි විදේශ රැකියා අමාත්‍යංශය කියයි. 

කොරියානු භාෂා ප්‍රවීනතාව සමත්ව සිටි නවක ශ්‍රමිකයන් 33 දෙනෙක් වසර දෙකකට පමණ පසු කොරියාව බලා බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඊයේ පිටත්ව ගියහ.

මේ වනවිට භාෂා ප්‍රවීනතා විභාගය සමත්ව, ගිවිසුම් ලැබී ඇති අයදුම්කරුවන් අතරින් වීසා ලැබී ඇති පිළිවෙල අනුව සීමිත පිරිස බැගින් ඉදිරියේ දී යැවිය හැකි වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය කළමණාකරු මංගල රන්දෙනිය මහතා ලංකාදීපයට අද (08) පැවසීය. 

විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා කොරියානු කම්කරු ඇමතිවරයා, නියෝජ්‍ය කම්කරු ඇමතිවරයා, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා ඇතුළු පිරිස් සමග පසුගියදා කළ සාකච්ඡා අනුව මෙම අවස්ථාව ලබා ගත හැකි වූ බව ද රන්දෙනිය මහතා කීය.  

කොරියාවේ රැකියා අවස්ථා ලබා දෙන රටවල්වලට කොරෝනා වසංගතයෙන් පසු මේ වනතුරු නැවත රැකියා අවස්ථා ලැබී නැති බවත් ශ්‍රී ලංකාවට මුල්ම අවස්ථාව ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.