අප හමුවුණු තැන තනියෙන්
මම විතරමයි ඉන්නේ
ඔබහැර ගිය තැන සතුටින්
ඉන්නවාද නෑ දන්නේ
කවදාවත් ඔබ නාවත්
තරහා නැහැ හිතුණේ
එක පාරක් දුටුවා නම්
කඳුළු නෑ දෙනෙතේ...
ශෂිකා නිසංසලා ගැයූ ඒ ගීතයට ලැබෙන්නේ ඉතාම ඉහළ ප‍්‍රතිචාරයි. ඒ ගීතයට විතරක්ම නොවෙයි. ගිම්හාන කාලය, දුර යන්න සිතුවාට, මල් සර හී සරින් ඇතුළු පසුගිය කාලය පුරාවට ඇය ගැයූ ගීත සියල්ලම වාගේ ඉතා ජනප‍්‍රිය වුණා. එක් රාමුවකට කොටුනොවී, වින්දනාත්මක ගායන කලාවක නිරත වන ශෂිකා නිසංසලා ප‍්‍රාසංගික වේදිකාවට වගේම එළිමහන් වේදිකාවටත් නැතුවම බැරි ශිල්පිනියකි.
එහෙව් වූ ශෂිකා අද ආඩම්බරකාර චරිතයක්. මේ ආඩම්බරකමට හේතුව පුතාල දෙදෙනෙකුගේම මවක් වීමලූ. ඒ පුතාලා දෙන්නාගේ ආඩම්බරකාර මව අද අපට කියන්නේ මොනවාද බලමු.
ශෂිකා කොහොමද ඉතින්?
ගොඩක් හොඳයි. පුද්ගලික ජීවිතයේ වගේම සංගීත ක්‍ෂේත‍්‍රයේ කටයුතුත් සමබරව කරගෙන යනවා. හැබැයි මොන දේ කළත්, පළවැනිදේ මවක ලෙස කරන වැඩ ටිකයි. ඒ සියල්ලට මගේ අම්මා-තාත්තා වගේම සැමියාගෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයක්.
විවාහයෙන් පසුව ඔබ පුද්ගලික විස්තර කිව්ව නැති තරම්. ඇයි ඒ?
විශේෂත්වයක් තිබුණේ නැහැ. මගේ ගමන හෙමින් ආවේ. සරසවි කාලයේදීමයි සුරංග සහ මම අතර දැන හඳුනාගැනීම ඇති වුණේ. ඉන් වසර පහකට පමණ පසුව අපි විවාහ වුණා. දැන් අපි දෙන්නට පුතාල දෙන්නෙක් ඉන්නවා.
ඒකද මෙච්චර ආඩම්බරයි කියලා කියන්නේ?
ඒක ඇත්තටම වචන වලින් විතරක් කියන්න බැරි තරමේ දෙයක්. මම කළ ගුරු වෘත්තියේ රැුකියාවෙන් පවා අයින්වුණා. පුතාලා දෙන්නාගේ වැඩ ටික කරන්නේ හරිම ආසාවෙන්. එදා මම ගෙදර සිටි කාලයේදී මගේ මල්ලි මේ ගායනා ක්‍ෂේත‍්‍රයේ කටයුතු ඇතුළු සියල්ලට ගොඩක් උදව් කළා. මල්ලී වුණාට එයා අයියා වගේ ඒ දේවල් කළේ. අද සුරංග මට මහා හයියක් වෙලා. ඒ හැමෝම ගැන හිතත්දී පුංචි ආඩම්බර කමක් මට මා ගැන ඇති වෙනවා.
පුතාලා දෙන්නගේ විස්තර?
ලොක්කගේ නම, මිහින් හෙළංක. එයාට අවුරුදු 4යි. පොඞ්ඩාගේ නම හිරුන් දෙවංග. ගිය අවුරුද්දේ ජනවාරියේ උපන්නේ. මේ දෙන්නා ඉක්මණට ලොකු වෙන හැටි ආසාවෙන් බලාගෙන ඉන්නේ.
සැමියා ගැන කතා කළොත්, එයාට ගායනයට දක්‍ෂතා නැතිද?
එයා උපාධිය කළේ විද්‍යා අංශයෙන්. එයා ගායනයට සම්බන්ධ නැතත්, මගේ සංගීත ජීවිතයේ බොහෝ දේ වෙනුවෙන්, නිරන්තරයෙන් උනන්දු කරවනවා. ‘ගිම්හාන කාලයේ’ ගීතය පවා කළේ මගේ සරසවි විභාග අතරෙදීයි. ඒකට එයා ගොඩක් උනන්දු කළා. මම හිතන්නේ නැවත මට ජනප‍්‍රිත්වයක් ගෙන දුන්නේ ඒ ගීතයයි. ඇත්තටම නිතර අලූත් අදහස් මට දෙන්නේ එයා.
සුරංග... ඇත්තද මේ ශෂිකා කියන්නේ?
එහෙම වෙන්න එපායෑ නේද?
සුරංග ඔබගේ ප‍්‍රියතම ගායිකාව කවුද?
මගේ භාර්යාව තමයි.
ඇයගේ ඔබ කැමතිම ගීතය?
තවම මම ගොඩාක්ම ආසා ‘නිසංසල සඳක්’ ගීතයටයි. අනෙක් ගීත ඔක්කෝටමත් කැමතියි.
ශෂිකාගේ ගීතවලට අමතරව වෙනත් ඔබ කැමති ගීත මොනවාද?
අමරසිරි පීරිස් මහතා ගයන ‘කවුරුවත් එන්නේ නෑ’ ගීතයත් මගේ ප‍්‍රියතම එකක්.
ශශිකා බිරින්දෑ හැටියට තෝරා ගැනීම ගැන අද ඔබට හිතෙන්නේ කොහොමද?
ගොඩක් හොඳට හිතලා බලලා ගත්ත තීරණයක් කියලා හිතෙනවා. ඒ තීරණය සාර්ථක වෙලා. ජීවිතය හොඳට තේරුම් අරගෙන ජීවත්වන කාන්තාවක්. මොන දේ කළත් ඇය වැඩියෙන්ම කැමති පුද්ගලික ජීවිතයට වග පෙනෙනවා. ඇයට ඇයගේ ජීවිතය පළවැනි තැන පවුල් ජීවිතයයි.

‘නිසංසල සඳක්’ ගීතය ඇය ගැයුවේ ඔබ වෙනුවෙන්මද?
එහෙමම නැහැ. සමහර විට එහෙමම වෙන්නත් පුළුවනි.
ශෂිකා ඔබ ඔබගේ ගීතවලට අමතරව වෙනත් අයගේ ගීත අතරින් වැඩිපුරම කැමති ගීත මොනවාද?
කොහොමටත් එදා ඉඳලාම මම සුජාතා අත්තනායක මහත්මියගේ ගීත වලට ආසයි. ඇගේ සියලූම ගීතවලට වගේ ආසයි. ඒ අතරින් ‘පරවුනු මල්වල සුවඳ අතීතේ’ ගීතය සහ ‘දුනු කෙයියා මලක් වගේ’ ගීතයට ගොඩක්ම ආසයි.
පසුගිය 2014 දී වගේම ඊට පෙරත් ඔබ සම්මාන රැසක් හිමිකරගත්තා. ඒ ගැන කොහොමද හිතෙන්නේ?
ඒ ගැන නම් කතා කරන්නම ඕනෑ. මේ වන විට ක්ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු 15ක් විතර වෙනවා. නමුත් මට මගේ සංගීත ගමන පටන් ගත්තේ මුතුහර, උදාර ළමා වැඩසටහන් වලින්. 99දී තුරුණු ශක්ති හොඳම ගායිකාව වුණා. එතකොට මම 12 වසරෙ උසස් පෙළ සිසුවියක වුණා. එතැන් සිට පසුගිය වසරේ ජාතික රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී හොඳම ගායිකාව සම්මානය ලැබුවා. මේ දක්වා විශිෂ්ඨ ගණයේ සම්මාන 11ක් විතර ලබා තිබෙනවා.
රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මානයට විශේෂ වූ ගීතය මොකක්ද?
‘මේ තරම් දිගු රාත‍්‍රිය’ ගීතයට ඒ සම්මානය ලැබුණේ. දර්ශන රුවන් දිසානායකයන්ගේ සංගීතයට කාශ්‍යප ද සිල්වා රචිත ගීතයක්. ඒකට අමතරව පසුගිය කාලයේදී සනිධප කණ්ඩායමේ ප‍්‍රසංග තිසේරා එක්ක ගැයූ ‘සඳරේණු ඇති ?ක’ සහ චාමර වීරසිංහ එක්ක ගැයූ ‘කවුරුන්ද කවුළුව වැහුවේ’ යන ගීතද අතිශයින් ජනප‍්‍රිය වුණා. ඇත්තටම මගේ ගමන ප‍්‍රාසාංගික සහ එළිමහන් වේදිකාවටත් සමබර වුණා. ඒ නිසා මට හිතෙන විදියට මම අසාර්ථක චරිතයක් නොවෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ අනාගතයක්! (නි)
හොඳ බිරිඳක්, මවක්, ගෘහනියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සමහර අනිත් ගායිකාවන්ගේ රැල්ල අනුකරනය නොකරාවි යැයි සිතමි. ඔබට සුභ අනාගතයක් වේවා! (නි)
මගේ ප්‍රියතම ගායිකාව.! හරිම සතුටුයි. තමන්ගේ ගරුත්වය රැකගෙන කලාවේ යෙදෙන ,වාසනාවන්ත අම්මා කෙනෙක් බව පේනවා. අලුත් සින්දුවක් රැගෙන එනතුරු අපි බලාගෙන ඉන්නවා. (අ)
දැන් සශිකා තරමක් මහත්වෙලා නිසා තවත් ලස්සනයි (නි)
මම හරිම කැමති ගායිකාවක් . ඇගේ පළමු ගීතයේ ඉඳලාම මම රසිකාවියක් . ඇත්තටම කලාවේ ගරුත්වයක් කියල දෙයක් අද තිබෙනවා නම් ඒ මේ වගේ අතලොස්සක් දෙනා නිසා තමයි . සමහරු ගැන කලා කලාකාරියන් කියන්න ලැජ්ජයි. (අ)
මම මුලු පවුලටම සුබ පතනවා! (නි)
ලංකාවේ ඉන්න යහපත් හා තමන්ගේ ගෞරවය රැකගත් ගායිකාවක් (නි)
මගේ සුබපැතුම් හැමදාම ඔබට.(දිල්)
අදහස් දක්වන ඔයාලා දන්නේ මොනවද? (නි)
ලස්සනයි. (ර)
ආදර්ශවත් ජීවිතයක් ගතකරන කලාකාරියක්. හැමතිස්සෙම කටහඬ නොඇසුනාට, මාධ්‍යයෙන් නොපෙනුනාට කමක් නැහැ. අවුරුද්දකට එක සින්දුවක් කියලා නම්බුකාර විදියට ජීවත්වෙන එකම හොඳටම වටිනවා. (නි)
මගේ ආසම ගායිකාව.පුංචි කාලේ ඉඳලා මම කැමතියි. ඔයාට සුබපතනවා! (නි)
පැටවූ දෙන්නම හරිම ෂෝක්. සංගීතයට කැමති හැමෝගෙම හදවත්වල ඔයා ඉන්නවා. තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව මුළු පවුලටම පතනවා! (නි)
මම ලංකාවේ නොවන නිසා ඔබගේ ගීත අහල නෑ. ප්‍රශ්න වලට දී තිබෙන පිළිතුරු වලට අනුව ඔබට දිගු ගමනක් යන්න හැකියාව තියෙන බව පේනවා. පොඩි දරුවෝ දෙන්න හරිම හුරුබුහුටියි ඔබ දෙපළට සුබ පැතුම්.(දිල්)
තමන්ගේ ගෞරවය තියන් ඉන්න කෙනෙක් ජීවිතේ ලොකුම දේ අම්මා කෙනෙක් වෙන එක හැමදාම සතුටින් ඉන්න ලැබේවා.(හේ)
ගොඩක් වැදගත් විදිහට ජිවත් වෙන දක්ෂ ගායිකාවක්...ශෂී අක්කගේ හැම සින්දුවක්ම වගේ ලස්සනයි...ඔයාගේ ජිවිතේ හැම වැදගත් වැඩකටම අපි සුබ පතනවා..වාසනාවන්ත අනාගතයක් ලැබේවි .(හේ)
තුරුණු ශක්ති තාම තියනවද? මට ආසයි ගායනය ඉදිරියට ගෙනියන්න..