(අංජුල මහික වීරරත්න)

පසුගිය දේශපාලන අධිකාරීන්ගේ ත්‍රාඩ බලය පැතිරීම හේතුවෙන් විනාශ වූ ලංගමයට නව සංස්කෘතියක් කැඳවාගෙන ඒමට වැඩ කරමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම සහ අඛණ්ඩතාවෙන් යුතු ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බව කී ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජය මේ වන විට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් සිටින බව සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි බඳවාගත් නවක රියැදුරන්  199ක් සහ කොන්දොස්තරවරියන්  342ක් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක් වෙමිනි.

පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් කිහිප දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්විණි. 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ අතීතයේදී මෙරට ජනතාව තුළ තිබූ ඓන්ද්‍රීය බැඳීම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, පසුකාලීනව දේශපාලන පත්වීම් සහ විවිධ අයථා ගනුදෙනු හේතු කර ගෙන බිඳ වැටීමට ලක් වූ ලංගමය ශක්තිමත් පොදු ප්‍රවාහන සේවාවක් ලෙස යළි ගොඩනැඟීමට පත්වීම් ලැබූ  සියලු දෙනා තම වගකීම් ඉටු කරනු ඇතැ'යි  විශ්වාසය පළ කරමින් නවක පත්වීම්ලාභී සියලු දෙනා වෙත සුබපැතුම් එක් කළේය.