ඉන්දීය මධ්‍යම රජය ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර එවීම සඳහා  තමිල්නාඩු ප්‍රාන්ත රජයට අවසර ලබා දී තිබේ. 

තමිල්නාඩු රජයට අවසර ලබා දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා පැවසුවේ ඉන්දියාව දැනටමත් ශ්‍රී ලංකාවට ලබා දෙමින් සිටින සහාය තමිල්නාඩු ආධාර හේතුවෙන් තවත් ශක්තිමත් වනු ඇති බවයි.

එහිදී තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතාට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාව මැදිහත් වීමෙන් අවශ්‍ය අයට මෙම ආධාර බෙදා දිය යුතු බවයි.

අවසරය හිමිවීමෙන් පසු තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් "අවසරය ලබා දීම පිළිබඳව ආචාර්ය එස්.ජයිශංකර් මහතාට ස්තූතිවන්ත වන අතර අපගේ මේ මානුෂීය ක්‍රියාව දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් වීමට ඉවහල් වේ" යැයි පැවසීය.

"තමිල්නාඩු මහ ලේකම් ඉන්දීය මධ්‍යම රජය සමග සම්බන්ධීකරණයෙන් මානුෂීය ආධාර තොගය ශ්‍රී ලංකාවට ලබා දිය හැකි අතර එය සුදුසු ආකාරයෙන් ශ්‍රී ලංකා රජය අවශ්‍ය ජනතාවට බෙදා දෙනු ඇති"යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය තමිල්නාඩු ප්‍රාන්ත සභාව වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර යැවීමට තමිල්නාඩුවට අවසර දෙන්නැයි මධ්‍යම රජයෙන් ඉල්ලමින් යෝජනාවක් (29) තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී ඒකමතිකව සම්මත විය.මෙම යෝජනාව තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා ඉදිරිපත් කළේය.ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ආධාර බෙදා දිය යුතු බව එහිදී යෝජනා විය.

තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට බලාපොරොත්තු වන මානුෂීය ආධාර තොගයට සහල් මෙට්‍රික් ටොන් 40,000 ක්,ඇට වර්ග,ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 137 ක් සහ කිරිපිටි මෙට්‍රික් ටොන් 500 ක් ඇතුළත් වේ.

(034 - 055)