IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තන්තිරිමලේට පොසොන් සඳ පායයි.

තන්තිරිමලේ ඓතිහාසික පුද බිම විදුලිය ආලෝකයෙන් බැබලෙන ”ලංකාදීප”පොසොන් ආලෝක පූජාව නව වැනි වරටත් අද (3 වැනිදා) රාති‍්‍රයේ ආරම්භ කෙරේ.
සැම වසරකදීම පොසොන් සමයේ සිදුකරන මෙම ආලෝක පූජා පින්කම සීමාසහිත විජය පුවත්පත් සමාගම අනුග‍්‍රහයෙන්  මෙවර ද දින තුනක් උත්කර්ෂවත්ව පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. ජුනි 3-5 යන දින තුනේදී ”ලංකාදීප” පොසොන් ආලෝක පූජාව සිදු කෙරේ.
තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙම ආලෝක පූජා පින්කම් මාලාව 2004 වර්ෂයේදී මුල්වරට ආරම්භ කෙරිණි.  විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප‍්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා ඒ සඳහා මුල පිරීය. එදා සිට මේ දක්වාම එය පොසොන් සමයේ  නොකඩවා සිදුකිරීම නිසා තන්තිරිමලේ පුදබිමත් ඒ ආශි‍්‍රත ජනාවාස පෙදෙසත් නිරතුරු සංවර්ධනයට ලක්ව  ඇතැයි විහාරාධිපති චන්දරතන නාහිමියෝ පවසති.
තන්තිරිමලේ පුදබිම මුළුමනින්ම අක්කර 200කට වැඩි භූමි ප‍්‍රදේශයක කළුගල් ව්‍යාප්තව ඇත්තේය. එහි ස්ථාන රැුසක බෞද්ධාගමික නටඹුන් රැසක් පවතී.
ශ්‍රී මහා බෝධි අෂ්ට ඵල බෝ වෘක්ෂය මහ ගල්තලාව මැද බැතිමතුන්ගේ ගෞරව පුද සත්කාරයට නිතිපතා ලක්ව ඇත. ශෛලමය සැතපෙන බුදු පිලිමයත් සමාධි  බුදු පිලිමයත් හෙළ කලාවේ අපුරු නිර්මාණයෝය. එමෙන්ම ගල්තලාව මධ්‍යයේ පිහිටි නෙළුම් පොකුණු පාරිසරික සමතුලිතතාවේ  සංකේතයක් බඳුය.
ගල්තලාවට නැගෙනහිර දෙසින් පිහිටි පොත්ගුල අපේ යටගියාව ඉස්මතු කරයි. එහි ඉපැරණි පුස්කොළ පොත් සුරක්ෂිතව තිබී ඇතැයි කියති. ආදි ගල්ලෙන  ඇතුළත වැදි චිත‍්‍ර සටහන්ව තිබේ.
පධානඝරය කාගේත්  අවධානයට ලක්ව තිබේ. අතීතයේදී මෙහි භික්ෂුන් වහන්සේ භාවනානුයෝගිව වැඩ සිට ඇතැයි පුරාවිද්‍යාඥ මතයයි.
තන්තිරිමලේ පිහිටා ඇත්තේ අනුරාධපුර නගරයට වයඹ දෙසිනි. අනුරාධපුරයේ සිට මහ මඟ ඔස්සේ දුර ප‍්‍රමාණය  කිලෝමීටර් 41ක් පමණ විලච්චිය පාරේ කිලෝමීටර් 19ක් දුර ගොස් දකුණට ඇති ශ්‍රී විමලඥාන මාවතේ යන විට තන්තිරිමලේ පුදබිම හමුවෙයි. මැදවච්චිය මන්නාරම පාරන් ද යා හැකිය.
තන්තිරිමලේ මෙරට වංශකථාවේ සුවිශේෂ තැනක් ගන්නා ස්ථානයකි. විජය කුමරුන්ගේ ලංකාගමනයට පසුව සිදුව අති විවිධ කි‍්‍රයාමාර්ග හරහා ජනාවාස එහි ඇති වූයේ යැයි ඉතිහාසයේ සඳහන්ය.
එමෙන්ම අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනයෙන් පසුව   ඇතිවූ මහා සංස්කෘතික විප්ලවයේ ඓතිහාසික සාධක අතර තන්තිරිමලේ ඉපැරණි ජනවාසය ගැන ද කියැවේ. ඒ ලෝකවාසි බෞද්ධ ජනයාගේ මුදුන්මල්කඩ වන් අනුරාධපුර ශ්‍රීමහා බෝධි ශාඛාව මෙරටට වැඩම කරලීමේ මහඟු පුණ්‍ය උත්සවය සමඟිනි.
දෙවන පෑතිස් රජුන් ප‍්‍රමුඛ පිරිස  සංඝමිත්තා මහ තෙරණිය විසින් වැඩමවාගෙන ආ බෝධි ශාඛාව අනුරාධපුරයට  වැඩම කරවූයේ මහ පෙරහරිනි. මේ පෙරහර ගමන්මඟ වැටී තිබුණේ එකල ජනාවාසයක් වූ ”තිවක්ක බමුණුගම” හරහාය.
මිහිඳු මාහිමියන් ප‍්‍රමුඛ මහා සඟරුවන ද සෙසු රාජකීය පිරිස ද රාති‍්‍රය පහන් කළ තැන ”තිවක්ක බමුණුගම”ය.
ගමේ ප‍්‍රධානියා වූ තිවක්ක බමුණාගේ නමින් එකල තන්තිරිමලේ හැඳින්වී ඇත.
මේ අතර ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුර උඩමළුවේ රෝපණය කළ පසුව හටගැනී ඇති අෂ්ට ඵල බෝ අංකුරයක් තන්තිරිමලේ ඓතිහාසික ගල්තලාව මුදුනේ රෝපණය කළ බව ද ඉතිහාසයේ සඳහන්ය. ආදි ගම් වැසියෝ මේ අෂ්ටඵල බෝධීන් වහන්සේට ගෞරව පුද සත්කාර කළහ. ආරක්‍ෂා කළහ. එහෙත් කාලයාගේ  ඇවෑමෙන් මේ පුද බිම වසර දහස් ගණනක් කැලෑවෙන් යටවී  ගියේය. ඉන් පසුව මේ ඓතිහාසික පුදබිම යළි මතු කර ගත්තේ 1960 වර්ෂයේදීය. ඒ කුඩා කෝන්ගස්කඩ විමලඥාන නාහිමිපාණන් විසිනි.
මෙම පූජා භූමිය පිළිසකර කිරීමට විමලඥාන නාහිමියන් ගත් කි‍්‍රයාමාර්ගය ඉතා දුෂ්කර වූත් වෙහෙසකර වූත් වැඩපිළිවෙළක් විය. රජයේ බලධරයන්ගේත් නිලධරයන්ගේත්  ඇස් අරවන්නට නාහිමියෝ ගත් වෙහෙස අප‍්‍රමාණය. අනර්ඝය. මිල කළ නොහැක්කේය.
කොටි ත‍්‍රස්තවාදයේ බියකරු සෙවණැලි මැද ඒ නාහිමියෝ සිය ජීවිතය පරදුවට තබා කි‍්‍රයා කළහ. තම දාන වේල පවා  හරිහැටි ගත්තේ නැත. තන්තිරිමලේ විහාරස්ථානය දියුණු කිරීමට පෙර ගමේ වැසියන්ගේ  ඕනෑ එපාකම් ඉටුකරලීමට පෙරමුණ ගත්හ.
එහි ඵල නෙළාගැනීමටත් පෙර විමලඥාන නාහිමියෝ 1992 ජුලි 21 වැනිදා රුදුරු බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව අපවත් වූහ.
ඉන් පසු තන්තිරිමලේ  චන්දරතන නාහිමියෝ මෙම පූජාභූමිය සංවර්ධනය කිරීමේ  වැඩසටහන නොකඩවා කරගෙන යති. නාහිමියන්ගේ අප‍්‍රතිහත ධෛර්යය  හා කැපවීම නිසා වර්තමානය වන විට තන්තිරිමලය පුදබිම පමණක් නොව අවට ජනාවාස ප‍්‍රදේශයට ද සංවර්ධනයේ අරුණළු වැටී ඇත්තේය.
ඒ සඳහා අවුරුදු නවයකට පෙර ආරම්භ කළ ”ලංකාදීප”පොසොන් ආලෝක පූජාව ඉමහත් පිටුබලයක් විණැයි චන්දරතන නාහිමියෝ කියති.



අදහස් (0)

තන්තිරිමලේට පොසොන් සඳ පායයි.

ප්‍රගීත් Sunday, 03 June 2012 02:03 PM

තව තවත් මේ වගේ දේවල් කරන්න ලංකාදීප පත්තරේ ගරු සභාපතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශක්තිය ‍ධෙර්යය ලැබේවා. තෙරුවන් සරණයි!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site