(බී.ජී. චතුරංග)

තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ.

තන්තිරිමලේ පුදබිමේ ඓතිහාසික වටිනාකම ජාතියට හෙළි කළ විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් ඓතිහාසික තන්තිරිමලේ පුදබිම විදුලි බුබුළු දසදහස් ගණනින් එළිය කෙරෙන 'ලංකාදීප ආලෝක පූජාවේ'  පළමු දිනය වූ අද  ආලෝක පූජාව විවෘත වන්නේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම ආලෝක පූජාව හෙට සහ අනිද්දා (28 සහ 29) යන දිනයන්වලදී පැවැත්වේ.

තන්තිරිමලේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට සහ සිල් සමාදන් වන සියලු දෙනාට අවශ්‍ය පොදු පහසුකම් මේ වන විට සම්පූර්ණයෙන් සූදානම් කර ඇති බව තන්තිරිමලේ රජමහා විහාරාධිපති  තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් පවසති.

දන්සල්, පානීය ජලය, වැසිකිළි හා කැසිකිළි පහසුකම්, නවාතැන්, රථගාල් සහ සෞඛ්‍ය පහසුකම් ඒ අතරට අයත් බවද උන්වහන්සේ සඳහන් කළහ.

පුර පසළොස්වක පොසොන් පොහොය දින උදෑසන සිට රාත්‍රිය දක්වා විවිධ ආගමික වැඩසටහන් රැසක් එකිනෙකට සමගාමීව සංවිධානය කර ඇති බවත්, ඒ අතර අටසිල් සමාදන් වීම, භාවනා වැඩසටහන්, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා ඇතුළත් බවද උන්වහන්සේ පැවසූහ.

“දහම් හමුවට සමගාමීව දහම් පාසල් දරුදැරියන්ට නිල ඇඳුම් බෙදා දීම සුපුරුදු පරිදි සිදු කෙරෙන බවද නාහිමිපාණන් කීහ.

පසුගිය වසරවලට සමගාමීව මෙවරත් පහන් කූඩු ප්‍රදර්ශනයක් සංවිධානය කර ඇති අතර, දහම් පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් නිර්මාණ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ සඳහා වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරෙන බවත් උන්වහන්සේ සඳහන් කරති.”

“ගම්පහ බත් දන්සල සහ කුරක්කන්හේන ගෙදර හිමියන්ගේ අනුශාසකත්වයෙන් 45 වැනි වරටත් බත් දන්සලක් මෙම පුදබිමේදී පැවැත්වෙන බව නාහිමිපාණන් පවසති.

ඊට අමතරව තන්තිරිමලේ විමල ඥාන විද්‍යාලය, බිල්ලෑව මහා විද්‍යාලය සහ පේමඩුව සාලිය මාලා විද්‍යාලය යන පාසල් සිසු දරුදැරියන්ගේ දායකත්වයෙන් ඔසුසැල් දන්සල්ද පැවැත්වෙන බවත්, ‘සඳ මල් එළිය’ පන්සලේද දන්සලක් පැවැත්වෙන බවත් උන්වහන්සේ ප්‍රකාශ කරති.

දිසාපතිවරයාගේ උපදෙස් මත මධ්‍යම නුවර නුවරගම්පලාත් ප්‍රාදේශීය සභාව මඟින් ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු සඳහා වැසිකිළි, කැසිකිළි සහ පානීය ජල පහසුකම් සූදානම් කර ඇති බව නාහිමිපාණන් පවසති.

විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායද මෙම වැඩසටහන් සඳහා නොමඳ සහයෝගය ලබා දෙන බවත් උන්වහන්සේ සඳහන් කරති.

“එමෙන්ම පිටතින් පැමිණෙන බැතිමතුන්ගෙන් ජල මූලාශ්‍රවලට කසළ නොදමන ලෙසත්, විහාරස්ථාන භූමිය සහ ඒ අවට ඇති ජල කරාමවලින් නිකුත් කරන ජලය පානය කිරීම සඳහා පමණක් භාවිත කරන ලෙසත් විශේෂයෙන් ඉල්ලා සිටින බව නාහිමිපාණන් පවසති.”