වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවේ යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (1) පැවසූහ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම බලයට පත්වී මාස හයකින් ඉටු කරන ලෙස ජනාධිපතිවරණ සමයේ යෝජනා කළ විට එය දින සීයකින් කළ හැකි බව කීවේ එතුමාම යැයි කී සෝභිත හිමියෝ දැන් විධායකයේ බලතල භාවිතා කර එම පොරොන්දුව ඉටු කරන ලෙස ඉල්ලති.

ජාතික විධායක සභාවට තමා සහභාගී වන්නේ නැත්දැයි සමහරුන් තමාගෙන් ප්‍රශ්න කරන බවද කී උන්වහන්සේ  තමා ඊට පත් කර ඇති බව පුවත්පත්වල පළවී තිබුණද ඒ සඳහා පත්වීම් ලිපියක් හෝ රැස්වීම්වලට සහභාගීවන ලෙස ආරාධනයක් මේ වනතුරු ලැබී නැතැයිද කියා සිටියහ.

මාදුළුවාවේ සෝභිත හිමියෝ මේ බව පැවසුවේ සාධාරණ සමාජයක් සඳහා පුරවැසියෝ සංවිධානය මගින් ‘සාධාරණ සමාජයක් - අපි කතා කරමු‘ තේමාව යටතේ කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සමුළුවක් අමතමිනි.