තංගල්ල රෝහලේ ශල්‍යාගාරයෙන් ඉවත් කරන ශරීර අවයව ඇතුළත් ශල්‍ය අපද්‍රව්‍ය කිලෝ 20000 කට ආසන්න ප්‍රමාණයක් ශල්‍යාගාරය අසල ගොඩගැසී තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ජී.ජි.චමල් සංජීව මහතා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී කීය.

එම අපද්‍රව්‍ය පුළුස්සා දැමීමට යොදාගත් යන්ත්‍රය කැඩී යෑමෙන් පසු ඒවා මෙසේ ගොඩගසා ඇති අතර අලුත් යන්ත්‍රයක් මගින් දිනපතා බැහැරකෙරෙන ශල්‍ය අපද්‍රව්‍ය පිළිස්සීම දැනට සිදුකළද පැරණි අපද්‍රව්‍ය ඉවත්කර ගැනීම පිළිබඳව ගැටළුවක් ඇති වී ඇතැයිද ඔහු කීය.

කිලෝ විසි දහසකට අධික නරක් වූ මෙම ශල්‍ය කොටස් ඉවත් කිරීමට කොළඹ ආයතනයකට යොමු කළද ප්‍රවාහනය කිරීමේ ගැටළුවක් ඇති වී තිබෙන හෙයින් එයද ඇණ හිට ඇත.

රෝහලේ ශල්‍යාගාරය අසල ගොඩගැසි තිබෙන මෙම ශල්‍ය අපදව්‍ය ඉවත් කර ගැනිම සඳහා සුදුසු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරගැනීමට සහාය ලබා දෙන ලෙසට    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඉල්ලිමක් කළේය.

ඒ අනුව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට අයත් ආදාහනාගාරයට එම අපද්‍රව්‍ය රැගෙන ගොස් පුළුස්සා දැමිමට කටයුතු කරන ලෙසටත්, මේ සම්බන්ධව පරිසර අධිකාරිය, සොයාබලා අදාළ අපදව්‍ය ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසත් හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් ලබා දුන්නේය.