(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම වැඩපිළිවෙළ හරහා ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට බංකොලොත් භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි පැවසූ ජනාධිපතිවරයා රජයේ එම ප්‍රයත්නයන්ට සහාය දැක්වීමට සාමූහිකව එක්වන්නැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද කීය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) මහා සභා රැස්වීම අමතමිනි.

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් මේ වන විටත් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, බැංකුකරුවන්, වාණිජ මණ්ඩල නියෝජිතයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද පැවසීය.