(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රුපියල් කෝටියකට ආසන්න වටිනා ආරක්ෂක උපකරණ තොගයක්  ආරක්ෂක ලේකම්  ජෙනරාල්  කමල් ගුණරත්න මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඊයේ (25) බාරදෙනු ලැබීය.

දේශීයව නිෂ්පාදනය කරනු ලැබ ඇති මෙම ආරක්ෂක උපකරණ තොගයට ගුවන් ආරක්ෂක කටයුතු තහවුරු කිරීම සදහා භාවිත කෙරෙන  ප්‍රතිඩ්‍රෝන ක්‍රියාකාරී පද්ධතියක් සහ  ආරක්ෂක සන්නිවේදන උපාංගද ඇතුළත් වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සදහා අනුයුක්ත සියලු ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් 2020 වසරේ ජූලි මස පැවති ඒකාබද්ධ ආරක්ෂක අභ්‍යාසයේදී හදුනාගත් ආරක්ෂක අවශ්‍යතාවකට අනුව මෙම උපකරණ තොගය ලබාදීම සිදුවූ බවද  හෙතෙම සඳහන් කළේය.

මෙම ආරක්ෂක උපකරණ නිෂ්පාදනය කරනු ලැබ ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසිනි.

මෙම උපකරණ තොගය ආනයනය කළේ නම් ඒ සදහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක්  වැය වන බවත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය  දේශීයව මෙම උපකරණ නිෂ්පාදනය කිරීම නිසා  වැයවී ඇත්තේ රුපියල් කෝටියකට ආසන්න මුදලක් පමණක් බවත් පැවසේ.

මේ නිසා විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා මෙම උපකරණ තොගය ලබාදීම පිළිබදව  කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ආරක්ෂක අමාත්‍යාංශයට  මෙහිදී සිය ස්තුතිය පළ කළහ.

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ  ආරක්ෂක අංශ සහ වෙනත් ජාතික අවශ්‍යතා සදහා   දියුණු තාක්ෂණික මට්ටමේ උපකරණ නිෂ්පාදනය කිරීම නිසා රජයට  විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවයි.

මෙම  උපකරණ  බාරදීමේ අවස්ථාවට  ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් එම්.ඩී.ඒ.පී පායෝ, ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් රේණුක රොවෙල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් ටී.ඩී.එස් ද සිල්වා සහ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ මංජුල සෙනරත් යන මහත්වරුද සහභාගී වූහ.