‘මගේ දුව විශ්ව විද්‍යාලයට සමත් වුනා නිසා එයාට උගන්වන්නයි මම ඩුබායි වල ගෘහ සේවිකාවක් විදියට ආවේ. ඩුබායි වල ඒජන්සියේ නෝනා දවස් 17 ක් මාව කාමරයක හිර කරලා මට දස වදදුන්නා. ඒ නෝනගේ මහත්තය මගේ කොන්ඩෙන් ඇදලා දවස් ගනනාවක්ම මට හොදටම ගැහැව්වා. මම එතනින් පැන නොගියා නම් මගේ මළ මිනිය තමයි ලංකාවට එන්නේ‘ යැයි ඩුබායි සිට දිවයිනට පැමිණි පී.පී ධම්මිකා(45) මහත්මිය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉකිබිඳිමින් පැවසුවාය.
තිදරු මවක් වන ධම්මිකා මහත්මිය හපුතලේ ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ දරුවෝ පාසැල් වියේ පසුවෙති. ඇය දඹුල්ල ප‍්‍රදේශයේ රැකියා නියොජිත ආයතනයකින් ඩුබායි රටට යන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමේ අරමුණ ඇතිවය.
මැද පෙරදිග මරු කතරේදි විවිධ හැල හැප්පීම් වලට ගොදුරු වූ ඇය මුලින්ම ඩුබායි තානාපති කාර්‍යාලය වෙත පලා ගොස් ඇත. ඩුබායි තානාපති කාර්‍යාලයෙන්ද පිහිටක් නොළත් ඇය එතනින් අබුඩාබි තානාපති කාර්‍යායාලය වෙත පලා ගොස් තානාපති ආචාර්‍ය මහින්ද බාලසූරිය මහතා හමුවී ඇය විදි දුක් කරදර සියල්ලම පවසා ඇත. ඉන්පසු ඇයට මෙරටට පන බේරාගෙන යලි පැමිණීමට හැකි වුවේ මහින්ද බාලසුරිය මහතාගේ මැදිහත්වීම මත කම්කරු අංශයේ පළමු ලේකම් එම්.ඊ.ජී සමරවීර, තෙවන ලේකම් රුවන් ගුණතිලක සහ දුමින්ද සතරසිංහ, එස්. අහලර් සහ අනුර ගුණසේකර යන නිලධාරීන් පිහිට වූ නාසා බව දිවයිනට පැමිණි ඇය කීවාය.
ඇයගේ දරුවන් අධ්‍යාපනය ලබන බැවින් ඇගේ ඡායාරූප පුවත් පත් වල ඵල නොකරන ලෙස ඇය අපෙන් ඉල්ලා සිටියාය.
නමුත් ඇය දිගින් දිගටම ඉල්ලා සිටියේ ඇයට වූ අසාධාරණය තවත් අයෙකුට නොවන්නට නම් ඇය විදි දුක් කම් කටොලු ඇගේ ඡයාරූපය නොමැතිව ලෝකයාට දැන ගැනීමට ඉඩ සලස්වන ලෙසය.
ඇය විදි දුක ඇය නැවතත් මෙසේ විස්තර කළාය.
‘මම ලංකාවේ ඉදලා මුලින්ම ගියේ සාජා වලට. සාජා වලදී ලංකාවේ මාව යවපු රැකියා නියෝජිත ආයතනයට සම්බන්ධව ඩුබායි වල තියෙන රැකියා නියෝජිත ආයතනයෙන් ඇවිත් මාව අජමානි නගරයේ තියෙන අල් අමාන් ඒජන්සියට අරගෙන ගියා.
ඒ ඒජන්සියේ හිටියේ සිංහල නෝනා කෙනෙක්. ඇය මාව ගෙදරකට බාර දුන්නා. මම ඒ ගෙදර වැඩකරගෙන හිටියා. ඒ ගෙදර අයගෙන් මට කරදරයක් වුනේ නැහැ .
නමුත් මගේ අසනීපයකට මම බෙහෙත් බොනවා දැකලා ඒ අය මාව තියාගන්න බැහැ කිව්වා. එගොල්ලෝ මාව ගෙනාපු රැකියා නියෝජිත ආයතනයට දොස් කිව්වා අසනීප තියෙන කෙනෙක්ව එවලා කියලා.
මා එහි මාස දෙක හමාරක් වැඩ කළා. ඔවුන් මට මාස දෙක හමාරේ වැටුප ගෙවලා ආපසු අල් අමාන් ඒජන්සියට ගෙනවිත් බාර දුන්නා. ඔවුන් මාව ආපසු ලංකාවට යැවීමට ගුවන්ටිකට් පත් වලට යන වියදම පවා අල් අමාන් ඒජන්සියට දුන්නා.
නමුත් ඒ ඒජන්සියෙන් මට දොස් කියලා මාව තව ගෙදරකට ඩිරාම් එකොලොස් දාහකට වික්කා. ඔවුන් මාව ලංකාවට එව්වේ නැහැ. ඒ ගෙදර මාස දෙකක් වැඩ කළා. ඒ අයත් මගේ අසනීපය දැන ගෙන මාව නැවත ඒජන්සියට ගෙනත් දැම්මා.
ඒජන්සියෙන් නැවතත් තුන්වෙනි වතාවටත් මාව ඩිරාම් අටදහසකට තවත් ගෙදරකට වික්කා. එතනත් මම මාස දෙකක් වැඩ කලා. ඒ අයත් කළේ මාස දෙකේ පඩි බේරලා මගේ පොතේ අකාමා ගහලා මාව නැවත ඒජන්සියට ගෙනත් දැම්මා.
මගේ පොතේ අකාමා ගහපු නිසා දැන් මාව ඒජන්සියේ අයට විකුනන්න බැහැ. ඒ නිසා ඔවුන් මට අමාණුෂික ලෙස බැන වැදී මාව කාමරයක් ඇතුලේ හිර කළා. මම ඒ කාමරේ ඇතුලේ දවස් 17 ක් හිරවෙලා හිටියා.
ඒජන්සිය අයිති නෝනා ලංකාවේ කෙනෙක්. ඒ නෝනාගේ මහත්තයා ඇවිත් මගේ කොන්ඩෙන් ඇදලා මට අමානුෂික ලෙස හිසටයි, කොන්දටයි පහර දෙනවා. ඔය විදියට දවස් කිහිපයක්ම ඒ මහත්තයා ඇවිත් මට පහර දුන්නා. මාව කාමරේ හිර කරලා නිසා මට මොකුත් කර කියාගන්න විදිහක් තිබුනේ නැහැ. මේ වෙනකොට මම මානසිකවත් ශාරීරිකවත් හොදටම වැහිරිලා හිටියේ.
ඔහොම ඉන්නකොට ඒජන්සියෙන් කිව්වා ලංකාවට යවන්න රුපියල් ලක්ෂ දෙකහමාරක් ඕනා කියලා. මම කිව්වා මගේ ලග සල්ලි නැහැ ගෙදර අය ලගත් නැහැ කියලා. පස්සේ ඔවුන් මගෙන් පොරොන්දු ලිපියක් අත්සන් කර ගන්න උත්සහ කළා ලංකාවට යවන්න මගේ ගෙදර ඔප්පුව ලියාගෙන.
මම ඒකට කැමති වුනේ නැහැ. අන්තිමට සියළු ලියකියවිලි අරගෙන අත්සන ගන්න එනවයි කියපු දවසේ මාව හිරකරගෙන හිටිය කාමරේ දොරට මම හයියෙන් ගැහැව්වා. ඒක පාරටත් ඇහිලා පොලිසියෙන් ඇවිත් මාව බේරාගෙන ඩුබායි තානාපති කාර්‍යාලයට බාර දුන්නා.
ඩුබායි තානාපති කාර්‍යාලයේ නෝනා කෙනෙක් ඉන්නවා. එයාගේ යාළුවෙක් තමයි ඒජන්සියේ නෝනා. ඒ නිසා ඩුබායි තානාපති කාර්‍යාලයෙන් මට පිහිටක් ලැබුනේ නැහැ. ඔවුන් මට බෙහෙතක් පවා අරන් දුන්නේ නැහැ. මාව ආපසු ඒජන්සියට බාර දෙන්න උත්සහ කළ එක විතරයි ඔවුන් කළේ.
මම ඩුබායි තානාපති කාර්‍යාලයේ මාසයයි දවස් තුනක් හිටියා. බෙහෙත් නැති නිසා මා අසනීපව තවත් අසරණ වුනා. මා මිය යනු ඇතැයි මා සිතුවා. ඩුබායි තානාපති කාර්‍යාලයේ අය ඒජන්සියේ නෝනට උදව් කලා මිසක් මට පිහිට වුනේ නැහැ.
පස්සේ මට එතන හිටපු මම වගේ අතරමන් වෙලා ආපු ළමයි කිව්වා අබුඩාබි තානාපති කාර්‍යාලය හොදයි කොහොම හරි එතනට පැනලා ගිහින් විස්තරේ කියන්න කියලා. ඉන් පස්සේ මම අබුඩාබි තානාපති කාර්‍යාලයට පැනලා ඇවිත් තානාපති මහින්ද බාලසූරිය මහත්තයට සේරම විස්තර කිව්වා. එතුමා මාව සමරවීර මහත්තයට යොමු කළා.
පස්සේ ඔවුන් මට බෙහෙත් හේත් අරන් දීලා දෙවිවරු වගේ සැලකුවා. මගේ ජීවිතේ අයිති ඔවුන්ටයි. ඒ මහත්තුරු නොහිටින්න මා මැරිලා ඉවරයි.
මට ලංකාවට එන්න උදව් කළේ සමරවීර මහත්තයා රුවන් ගුණතිලක, දුමින්ද සතරසිංහ,අනුර ගුණසේකර, එස්. අහලර් යන මහත්වරුන්ට මා පින් දෙනවා. ඔවුන් නිසා මගේ ජීවිතේ බේරුනා.
මම ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ බොරුකාර ඒජන්සකාරයින්ට තවත් අපි වගේ අහිංසකයින්ව රවට්ටන්න ඉඩ දෙන්න එපා. ඒ වගේම ඩුබායි තානාපති කාර්‍යාලයට මනුස්සකම දන්නා එක් අයෙක්වත් යවන්න කියලා මම අවසාන වරටත් ඉල්ලා සිටිනවා යැයි අය අපෙන් සමුගැනීමට මොහොතකට පෙර ඇය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටේම අය රවටන්න බැහැ. මේ කාන්තාවට ලෙඩ නම් ඉස්පිරිතාලෙකට නොගිහින් රට ගියේ ඇයි? (නි)
අපොයි! මෙහෙ ඉන්න ඒජන්ට්ලා ගැන නම් කතා කරලා වැඩක් නැහැ (නි)
තනාපති කාර්යාලවල හොද වැඩකරන්නේ දේශපාලන බල පුළුවන්කාරකම් නැති අය, ඒවගේ ජරා වැඩ කරන්නේ හොඳ දේසපාලන හයිය අතු අල්ලාගෙන ඉන්න අය, එයාලට මොනවා කීවත් වැඩක් නෑ, කම්මලේ ඉන්න බල්ලෝ වගෙයි. කුමාර්. (අ)
සම්පූර්ණ ඇත්ත. (නි)
ඒජන්සියට විතරක් බනින්නේ මොකද? රටගිය මෙයා දන්නේ නැද්ද තමන්ට අසනීපය කියල? (අ)
අපේම අය මේවගේ වැඩ කරන්නේ අපේම අයටනේ දෙන්න ඕන රජකාලේ දඩුවම් (අ)
බලාගෙන ගියාම ඩුබායි සහ සෞදි දෙකම එක වගේ. දැන් මේකට මොනවද කියන්නේ? (නි)
අපේ රටේ හොර ඒජන්සි වහාම නතර කරන්න. අපේ රටේ විදේශ ඇමතිතුමාව, තානාපති කාර්යාල දැනුවත් කරන්න. (නි)
රාමා ඉස්සල්ලම තානාපතීන්ගේ වරද අපේ යක්කු තම අපේ ලංකා ගෑනුන්ව විකුනනේ අරබින්ට ඔවුන්ටි දඩුවම් කරන්න ඔනේ (අ)
කමල් , ලංකාවේ පිරිමින්ට කොන්දක් තියෙනවද ? (අ)
ගැහැනු රට අරින එක වහාම නවත්වන්න. මෙයත් මානව අයිතිවාසිකම් කඩ කිරීමක්. (නි)
ජනාධිපතිතුමනි, ඩුබායි තානාපති කාර්යාලය ගැන අවදානය යොමු කරන්න, මෙවන් දේවල් ඉදිරියට නොවන්න (නි)
මේකට හොදම විසදුම ලංකාවේ පිරිමි මහත්වරුන්ට ගැහැණු රට නොයවා සිටීම නොවේද? (නි)
ඇයි අසනීපයක් තියෙනවා නම් බොරු මෙඩිකල් හදාගෙන රට ගියේ? ඔයාගෙත් වරදක් තියෙනවා මෙතන (නි)
මම ඉන්නෙත් අබු ඩාබි. නමුත් මම හිතන්නේ ගුල්ෆ් වල තියෙන හොදම තානාපති කාර්යාල අබුඩාබි කියලා. (නි)
අබුඩාබි වල ඉන්න සමහර වීර මහත්වරු ගැන අපි මීට කලිනුත් අහලා තිබෙනවා. එවන් මහත්වරු තමයි තානාපති සේවයට ගත යුත්තේ (නි)
වෙනත් රටවල් වගේ පුළුවන් තරම් කාන්තාවන් රට එවන එක නවත්තන එක තමයි හොදම දේ. නැතිව කාටවත් දොස් කියල වැඩක් නැහැ. එම්බසි එක කරන්නේ මෙහෙ පැනල එන ගැහැණු අයව අරාබියන්ට සල්ලිවලට දෙන එකයි. කාටද මේවා කියන්නද?(දී)
තමන්ගේ රටේ මිනිසුන් ගැන නොහිතන අය සමාජ සේවා ආයතන වලට යැවීමේ ප්‍රතිපල (නි)
මේ තානාපති කාර්යාලවල ඉන්න අය ගැන මොනවා කිව්වත් වැඩක් නැහැ. අර ඉතාලියේ වගේ ඔක්කොම එකමුතු වෙලා වැඩ කළා නම් හරි (නි)
මෙතන අරාබි මිනිස්සුන්ගෙ වරදක්නම් පේන්න නැහැ. හැබැයි ලංකාවෙ ඒජන්තකරයො තමා බලුවැඩ කරල තියෙන්නෙ. මම දන්නවා අරාබි වැඩිදෙනෙක් ඉතහොඳයි. හැබැයි ඒ අයට බොරුව වංචාව පෙන්නන්න බැහැ. ඔය හොර ඒජන්ත කාරයින්ගෙන් ප්‍රවෙශම් වෙන්න. උන් බොරුකියල කීයක් හරි කඩාගන්න බලන අය. අපේ කාන්තාවනුත් බුද්ධිමත් විය යුතුයි. භාෂාවන් ගැන, විදුලි උපකරණ භාවිතය ගැන සැලකිලිමත් වන්න. අසනීප නම් රට යන්න එපා. වෛද්‍ය පරීක්ෂණකරල එයින් සමත්වුනොත් පමනයි ඒ රටවල් වැඩ කරන්න හැකියාව ලැබෙන්නෙ.(අ)
සම්පූර්ණ ඇත්ත. මමත් ඩුබායි වල ඉන්නේ (නි)
අපි හැමදාම කියනවා, තානාපති කාර්යාල ගැන තීරණ ගන්න කියලා. අපේ ගැහැණු දුක් විදින හැටි පේනවනේ. ඕකයි මැදපෙරදිග සැබෑ තත්වය (නි)
මාමා කෙසෙල් , ලංකාවේ මිනිස්සුන්ට කොන්දක් නෙමෙයි ජීවත්වෙන්න හොද ආර්ථිකයක් තියෙනවද කියලයි බලන්න ඕනෑ. ආර්ථිකය හොදනම් ඉබේම කොන්ද පණ ගහලා එයි. (නි)
ඩුබායි වල කට්ටිය සියල්ලම නොමැති වුවද වැඩි කට්ටියක් හොරුය. (නි)
නමුත් ලොක්කා වැඩකරු බව කියන්නම ඕනෑ.ඔහු නොහිටින්න මේකත් අපායක් (නි)
රෙමා,හොදට ලිපිය කියවන්න (නි)
සමහර ගෘහ සේවිකාවන් රට එන්නේ එජෙන්සියෙන් දෙන සල්ලි අරන් අපහු යන්න පුළුවන් කියල හිතාගෙන .එත් අවට පස්සේ වැඩ කරන්න වුනාම,තමයි එයාලට ලෙඩ තියෙනවා කියල මතක් වෙන්නේ .එතකොට එයාල ගොඩක් පරක්කුයි.ඊට පස්සේ ඒජන්සි වලට,එම්බසියට ,දොස් කියනවා.ඒ කොහොම වුණත් මේ නොදන්නා රටකට එන්න කලින් දහස් වතාවක් හිතල බලල එන්න.ආවට පස්සේ තමන්ට තමන් විතරයි.(අ)
තමන්ගේ රටේ කාන්තාවකට මවුතුමියකට දුකක් වුන අවස්ථාවක උදව් කිරීමට තරම් මනුෂ්‍යත්වයක් නැති දෙපලකුත් එම අයගේ එම නිහිහ ක්‍රියාවට උල්පන්දම් දෙන තානාපති කාර්යාල නිලදාරිනුත් මොනවටද තවත් තියාගෙන ඉන්නේ? අපේ රටටත් නිග්‍රහයක්. මෙම අයව වහාම ගෙනල්ලා මනුස්සකම හැදියාව ගැන උගන්නලා දඩුවම් දෙන්න (නි)
ඩුබායි වල එම්බසියෙ ඉන්න සමහරු හිතන්නේ ඔවුන්ගෙ පිහිටෙන් අපි ඉන්නෙ කියලා (නි)
ඔක්කොම දන්නවා ඇත්ත මොකද්ද කියලා (නි)
එතුමියට මෙහෙන් සෑහෙන වැටුපක් ලැබෙන රැකියාවක් සොයා දෙන්න (නි)
තිලක්, ලියුම කියවලා තමා ලිව්වේ. ඔයාට රිදිලා වගේ (නි)
හැමදාම මේවා පත්තර වල යනවා. නමුත් මොනවද කෙරන්නේ?අපි එවන සල්ලි ගැන වර්ණනා කරනවා විතරයි.තව ගොඩක් හිත ඇතුලේ තිබුනත් ලියන්න වෙලා මදි. (නි)
රැකියාව කුමන මට්ටමේ වුනත් විදේශයන්හි සේවය කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයක් තිබිය යුතුයි. ඒජන්සි මහතුනි, උපකාර කිරීමේ චේතනාවෙන් හෝ මෙවැනි අය රට යවන්න එපා. එක්කෙනෙක් නිසා දහස් ගණන් හොදින් රැකියා කරගෙන ඉන්න අයගේ නමත් අපට රැකියා දෙන රටවල තත්වයත්, අපේ රටේ නමත් නැති වෙනවා. (නි)
ඒ කොහොම වුනත් වෛද්‍ය සහතිකය දුන් ආයතන සොයා බලා වරදක් සිදුකර ඇත්නම් නැවත මෙවන් දේ නොකිරීම සදහා එම ආයතනය වසා දැමිය යුතුයි (නි)
අපේ ය දන්නේ කුකුලන් එළුවෝ බේරගන්න විතරි , පුලුවන්නම් ඩුබියි කාර්යාලය ගැන පරික්ෂණ කරන්න ඩුබායි රජයට දෙන්න,,,, එයාගොල්ල නිතිය අකුරටම කරනවා, අපේ ය වගේ නෙමෙයි (අ)
ඩුබායි තානාපති කාර්යාලය ගැන පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දැඩි දඬුවම් දෙන්න. (නි)
පොදුවේ ගතහොත් සියලුම මැදපෙරදිග රටවල සේවය කරන අයට කිසිම සේවක අයිතිවාසිකමක් නැතුව තමයි වැඩකරන්න වෙලා තියෙන්නේ. අපේ රටේ ආණ්ඩු මැදපෙරදිගට හොදින් වැඩ කළහැකි නිලධාරීන් එවිය යුතුයි. සුදුස්සාට සුදුසු තැන දීම ආණ්ඩුවේ වගකීම. ඩුබායි අනිත් රටවලට වැඩ ගොඩක් හොඳ රටක්. නමුත් අදටත් අපිට පන්සලකට ඉඩක් ගන්න බැරිවෙලා තියෙනවා සුදුස්සෝ නිසි තැන්වල නැතිකමින්. (අ)
මාමා කෙසෙල් ඔය ලංකාවේ පිරිමියෙක් නෙමේද.... එහෙනම් නපුර්සකයෙක්ද (අ)
ඇති පන බේරා ගත්තා (දී)
රුසෙල්, ඔයා කියපු දේ හරියට හරි. මෙයා අසනීප තියා ගෙන කොහොමද රට ගියේ? සේරම විස්තරේ කිව්වත් ඔයාගේ අසනීපය මොකක්ද කියලා කියන්නේ නැත්තේ මොකෝ ..? (නි)
ඩුබායි තානාපති කාර්යාලය ගැන පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දැඩි දඬුවම් දෙන්න? (දී)
මෙහාන් හරි විදිහට ප්‍රතිකාර කලා නම් ඔය ලෙඩ තියෙන අය රට යවන්නේ නැහැ මෙයාගෙත් වරද තියෙනවා එහෙ ඒජන්සි එකට විරුද්දවත් පරීක්ෂණ කල යුතුයි (අ)
ඩුබායි කොන්සලේට් එක පිළිබඳව අබුඩාබි ඉන්න තානාපතිතුමාගේ වගකීමක් නැද්ද? (අ)
කොහොම උනත් අසනීප තියාගෙන රට ගිය එකත් වැරදියිනේ. (දී)
අයියෝ සල්ලි (දී)
කරුණාකරලා ඩුබායි කොන්සියුලර් අංශය පිලිබදව අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලා සිටිමු (නි)
මෙය අපේ රටේ පමණක් නොව මුළු ලෝකෙම කාන්තාවන්ට සිදු උණු අසාධාරණයක් (දී)
මේකේ පළමු වැරැද්ද හොර මෙඩිකල් එකකින් රට යැවීම,අනිත් වැරැද්ද ඩුබායිවල ලංකාවේ ජෝඩුව තමයි මේ ගෘහ සේවිකාවට හිරිහැර කරලා තියෙන්නේ,ඩුබායි හාම්පුතුන් ඇයව පරිස්සමින් නැවත බාරදී,වන්දි මුදලුත් ලබදෙමට තරම් කාරුණික වී ඇත.රෙමා මුලින්ම ලිපිය හරිහැටි කියවා තේරුම් ගන්න.රජයේ වගකිවයුත්ටන් ඩුබායි තානාපති කාර්යාලය පරික්ෂාවට ලක්කිරීම අනිවාර්ය වෙන්නේ මින් මතු මෙවැනි අකටයුතු විදේශ ශ්‍රමිකයන්ට නොවීමටයි! (නි)
නියමයි (දී)
මෙයාගේ කතාවෙන් ඉගෙන ගතයුතු ,දැනගත යුතු බොහෝ දේවල් ඇත. (නි)
ලංකාවේ පලවෙනි විදේශ විනිමය ආදායම දැන් තේ. පොල්, රබර් කැලේ. (නි)