(නිමන්ති රණසිංහ)
 
කොවිඩ් 19 මෙන්ම ඩෙංගු රෝගයේ ද පොදු ලක්ෂණය වන්නේ ‘‘උණ රෝගය’’ බැවින් එම රෝගයන් දෙක වෙන්කර හඳුනාගැනීමට සිදුවන බාධාවක් වළක්වා ගැනීමට ඩෙංගු මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 
ඔබ ආයතනය, අවට, නිවස අවට, පාර තොට වැනි සෑම ස්ථානයකම ඊඞීස් නැමැති මදුරුවා බෝ වන පැහැදිලි ජලය රැදෙන ස්ථාන ඇතිවීම වැළැක්වීම සහ විනාශ කිරීම සිදුකළ යුතු බවත්, ඩෙංගු මෙන්ම කොරෝනා රෝගයේ පොදු ලක්ෂණය වන්නේ උණ රෝගය බැවින් එකවර රෝග දෙක වෙන්කර හදුනා ගැනීමේ බාධාවන් ඇතිවිය හැකි බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
 
මෙම  වසංගත තත්ත්වයන් දෙකම මනුෂ්‍ය චර්යාවන් හා සම්බ්ධ වී ඇති අතර, කොරෝනා වයිරසය සම්බන්ධ වන්නේ පුද්ගලික චර්යාව සහ තවත් පුද්ගලයකු සමග පවත්වන චර්යාව සම`ග බවත්, ඩෙංගු රෝගයට අදාළ වන්නේ මනුෂ්‍යයා පරිසරය සමඟ පවත්වන චර්යාවන් සමඟ බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.
 
කොවිඞ් වසංගත තත්ත්වයට සමගාමීව ඉදිරියේදී ඩෙංගු උවදුරට මුහුණ දිමට සිදුවනු ඇති බවත් මේ දිනවල පවතින වැසි තත්ත්වය සමඟ ඩෙංගු හිස එසවීමේ තත්ත්වයක් මතුවී ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
 
සමාජය තුළ කොවිඩි වසංගත තත්ත්වය නිසා ඩෙංගු රෝගය පිළිබද තිබූ අවධානය ගිලිහී ගොස් ඇති බව පෙනී යන බැවින් මේ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටීයි.