තමන් සම්පූර්ණ ඇමරිකා එක්සත් ජනපදයේම ජනපති බවත් හිලරි ක්ලින්ටන් රට වෙනුවෙන් කළ දීර්ඝ සේවයට ස්තූති කරන බවත් ඇමරිකා ජනපතිවරණ සටනින් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

නොවැම්බර් 8 වැනිදා පැවැති ඇමරිකා ජනපතිවරණ ඡන්දයෙන් ජයග්‍රහණය කරමින් ඇමරිකාවේ 45 වැනි ජනපති ලෙස තේරී පත්වීමට වරම් ලබාගත් ට්‍රම්ප් සිය පාක්ෂිකයන් සමග අද (9) නිව්යෝක් නුවර හිල්ටන් හෝටලයේ සාදයක් ද සංවිධානය කර ඇත.

‘මට මේ මොහොතේ හිලරි ක්ලින්ටන්ගේ ලේකම්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඇය අපට සුබපතා තිබෙනවා. ඒ අපේ ජයග්‍රහණය ගැන‘ යැයි ට්‍රම්ප් සිය කථාවේදී සඳහන් කළේය.

රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් එකමුතු විය යුතු බවත් ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

1946 ජූනි 14 වැනිදා නිව්යෝක් නුවර ක්වීන්ස් හිදී උපත ලද ට්‍රම්ප් මේ වනවිට 70 වැනි වියේ පසුවෙයි. පස් දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනි වැඩිමහල් දරුවා ලෙස උපත ලද ට්‍රම්ප් ගේ සහෝදර සහෝදරියෝ මරියානා, එළිසබෙත් හා රොබට් හි වාසය කරති. ට්‍රම්ප්ගේ වැඩිමල් සොයුරු ෆ්‍රෙඩ් 1981 දී මියගියේය. සිය පියාගේ පාර්ශවයෙන් ජර්මනියට ද නෑකම් කියන ට්‍රම්ප් මවගේ පාර්ශවයෙන් ස්කොට්ලන්තයට ද ඥාතිවේ. ට්‍රම්ප් 1964 ජූනි 30 වැනිදා තරුණයකු ලෙස නිව්යෝර්ක් ආරක්ෂක ඇකඩමියට සම්බන්ධ විය. ට්‍රම්ප් කුඩා අවදියේදී දඟකාරයකු බව ඔහුගේ පියා සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත. විවාහ තුනකින් දරුවන් පස් දෙනකුගේ පියකු බවට පත්ව සිටින ට්‍රම්ප්ට මුනුපුරු මිනිපිරියන් අට දෙනෙක් ද සිටිති.

පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන ට්‍රම්ප් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු ද වේ. සිය පියාගේ ඇවෑමෙන් ට්‍රම්ප් ව්‍යාපාරික සංවිධානයේ සභාපති ලෙස 1973 දී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මැන්හැටන් හි ට්‍රම්ප් ටවර් නමැති දැවැන්ත වෙළඳ සංකීර්ණය නිර්මාණය කළේය. ලොව පුරා ගෝල්ෆ් ක්‍රීඩා පිටි 18ක් ඔහු සතුව පවතී.