(ඩයනා උදයංගනී)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහ නා හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
උන් වහන්සේට පොදු සමාවක් ලබාදීම සම්බන්ධවත් එහිදී සාකච්ඡාවීමට ඉඩ ඇති බව කී ඇමතිවරයා තමන් හරියටම ඒ ගැන නොදන්නා බවද සඳහන් කළේය.
භික්ෂූන් වහන්සේලා ඇතුළු පූජකවරුන් සිරගත වූ විට ජම්පර් නොඇඳිය යුතු බවට බන්ධනාගාර පනත සංශෝධනය කළ හැකි නම් තමාද එයට කැමති බව සම කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේය.
දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාට ජම්පර් ඇඳිමට සිදුව ඇත්තේ පවතින නීතිය අනුව බව කී ඇමතිවරයා එය රජයේ තීරණයක් නොවන බව ද සඳහන් කළේය.
ඇමති රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ ඇමතිවරයා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.
ප්රශ්නය
භික්ෂූන් වහන්සේලා, හමුදා නිලධාරීන්, විශ්ව විද්‍යාල සිසුන්, වෛද්‍යවරුන් වැනි අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකවීම වැරදි බවට රට තුළ මතයක් ඇති වෙමින් තිබෙනවා. එය බරපතල තත්ත්වයක් නෙවෙයිද?
පිළිතුර
මේ සියල්ල අධිකරණය ගත් තීන්දු මිස අප ගත් තීන්දු නෙවෙයි. එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මහතා ඝාතනය සම්බන්ධයෙන් සෝමාරාම හිමියන්ට මරණ දණ්ඩනය නියම වුණා. අධිකරණයට චෝදනා කිරීමේ වරදට එස්.බී දිසානායක ඇමතිවරයා වසර දෙකක් සිරගත වුණා. එය කාටවත් වළක්වන්න බැහැ.
ප්රශ්නය
ඥානසාර හිමියන් සිරගත කිරීමට වඩා විරෝධයක් එල්ල වුණේ චීවරය ගලවා ජම්පරයක් ඇන්දවීම සම්බන්ධව නේද?
පිළිතුර
භික්ෂූන් 15 දෙනෙකු ඇතුළුව ආගමික පූජකවරුන් 18 දෙනෙක් දැනට සිර දඬුවම් විඳිනවා. ඒ කාටත් පොදු නීතියක් ක්‍රියාත්මක වෙනවා. සිරගෙදර රැඳවියන්ගේ ඇඳුම සම්බන්ධව බන්ධනාගාර පනත් තුළ සඳහන් වෙනවා.
ප්රශ්නය
1874 බන්ධනාගාර පනතට අනුව විශේෂ අවස්ථාවක් නැතිනම් චීවරය ඉවත් කළ යුතු නැහැ නේද?
පිළිතුර
මම කතා කරන්නේ වර්තමානයේ ක්‍රියාත්මක බන්ධනාගාර පනත ගැනයි. මෙය ආණ්ඩුව ගත් තීරණයක් නෙවෙයි. පනතේ තිබෙන දෙයක්.
ප්රශ්නය
ඥානසාර හිමියන් සතර පාරාජිකාවට අයත් වරදක් කර නොමැති බැවින් ජම්පරය ඇන්දවීම වරදක් බව කියනවා නේද?
පිළිතුර
රටේ නීතිය කාටත් පොදුයි. එය වෙනස් කිරීමට නම් පනත සංශෝධනය කළ යුතුයි. එහෙම වෙනවා නම් හොඳයි.
ප්රශ්නය
රන්ජන් රාමනායක මහතාටත් අධිකරණයට අපහාස කළ බවට චෝදනාවක් තිබෙනවා. එතුමා ගැන ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද ඇයි?
පිළිතුර
ඒ ගැනත් නීතිමය කටයුතු සිදුවෙමින් තිබෙනවා.
ප්රශ්නය
උතුරු පළාත් මහ ඇමතිවරයා පළාත් සභාවේ කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා ඉදිරිපිටදී ඉල්ලීමක් කර තිබෙනවා. එසේ කළ හැකිද?
පිළිතුර
එසේ කරන්න බැහැ. එතුමා නීතිය ගැන දන්නා කෙනෙක්.
ප්රශ්නය
ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදෙන්න රජයේ තීරණයක් නැද්ද?
පිළිතුර
ජනාධිපතිතුමා මහ නා හිමිවරුන් සමඟ සාකච්ඡා කරන බව කියනවා.
ප්රශ්නය
ඒ කියන්නේ ඒ ගැන සාකච්ඡා වෙනවාද?
පිළිතුර
මං හිතන්නේ වෙනවා. මම හරියටම දන්නේ නැහැ.
ප්රශ්නය
උන් වහන්සේගේ ඇප ඉල්ලීම සලකා බැලීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ නොසිටියේ ඇයි?
පිළිතුර
උසාවියෙන් නොතීසි යවා තිබී නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයට අතපෙවීමේ ආරම්භය.
අධිකරණයට අතපෙවීමේ ආරම්භය...
එතකොට විවිධ අපරාධවලට වැරදිකරුවන් වී සිරගතව ඉන්නා ඉතුරු ස්වාමින් වහන්සේලා 14 දෙනා සම්බන්ධයෙන් මෙතරම් රුදාවක් කාටවත් නැත්තේ මොකද? මේ ස්වාමින්වහන්සේ වරක් බිමත්ව ලොරියක් එලවා අනතුරක් සිදුකිරීම පිළිබඳව වරද පිළිගත් කතාවකුත් තියෙනවා. අද ලංකාවේ සමහර භික්ෂූන් වහන්සේලාගේ සුචරිතභාවයට මොකද වෙලා තියෙන්නේ? මේ සියලුම දේවල් ආගම බේරාගැනීමට නොව දේශපාලන අවශ්‍යතාවයන් සපුරා ගන්නට කරන බවයි පෙනෙන්නට තියෙන්නේ...
ඇප නොදීම පිටුපස එන් ජී ඕ රාශියක් සිටින බව හෙලිවී හමාරයි බුද්ධ ශාසන ඇමතිතුමාට අනුව....
පත්තරෙන්ද දැන ගත්තේ හිරේ දාලා කියලා.
ඇයි ජම්පරය අයින් කරන්න ඕනේ? බෞද්ධ නිසාද? කවුරු වුණත් වැරැද්දක් කළා නම් ජම්පරය අන්දලා තියන්න ඕනේ.. එතකොට තමයි අනිත් අයටත් උණ ගැනෙන්නේ...
අපි දැනගත්තා මුලින්ම ඔය නාටකය එන්නේ ඔතනට තමයි කියලා.. දැන් ජනපති සමාව දීලා ළඟ එන ඡන්දෙට හොඳට ලකුණු දාගත්ත හැකියි. ලංකාවේ කපටි දේශපාලකයින් තමන්ගේ ඡන්දෙට මිස ඇත්තටම දේශප්‍රේමී වුණේ කවද්ද?
ඥාණසාර හාමුදුරුවන්ට ජනපති සමාව දෙන්න සාකච්ඡා කරන්නේ රටේ දැනට තැන තැන කරගෙන උද්ඝෝෂණ නිසා නම් ඒක නරක පූර්වාදර්ශයක් වෙනවා. මින් ඉදිරියට උසාවියෙන් දඬුවම් ලබන අය වෙනුවෙන් රටපුරා තැන් තැන්වල උද්ඝෝෂණ හා සත්යග්රහ පටන් ගනීවි. ඒ වගේම මේකත් උසාවියට කරණ අපහාසයක් වේවි...!!!
නිර්මල බුදු දහම බටහිර පවා, ප්‍රචලිත වෙන කාලයක්. බුදු පුතුන් , බුදු දහමේ සාරය ලොවට තවත් පෙන්නා දිය යුතු කාලයක් දැන්. ජාති ආගම් මුල් කරගෙන නීතියක් නැති රටක් අනාගත පරපුරට දෙන්න ඉඩක් තියන්න එපා.. එය බුදු දහමට කැළලක් වේවි. සමාවක් දෙන්න කලින් බුද්ධ ධර්මයට නිගරු වෙන හැසිරීම්වලින් වළකින බවට මහනායක ස්වාමින් වහන්සේලාව පොරොන්දු කර ගන්න.
සිරගත වී ඇති අනිත් හාමුදුරුවරුන් ගැනත් මේ තීන්දුවම ගන්න.
භික්ෂුවක් සීලය රකින්නේ නම් ඔහු චීවරය දැරීමට සුදුසුය. එක්වරක් නොව කිහිපවරක්ම අධිකරණයෙන් වරදකරු වී ඇත. දහමක් රැකිය හැකි වන්නේ ධර්මයෙන්ම මිස මැරබලයෙන් නොවන බව කවුරැත් තේරැම් ගතයුතුය. ජනාධිපතිවරයා නාහිමිවරුන් සමඟ සාකච්ඡා කළ යුත්තේ නුසුදුසු පුද්ගලයින් ඉවත් කිරීම සඳහාය.
ජනාධිපති බුද්ධ ආගමිකයෙක්.මෙයා දන්නවාද බුදුන්වහාන්සේ මහා සංඝරත්නය ගැන වදාළ දේ... අනාගතයේ සංඝයා නමින් පහළවන කාසායඛණ්ඨක යන අයටත් සංග්‍රහ කිරීම මහත්ඵල මහානිසංස වනබව බුදුන්වහන්සේ දේශනාකර තිබෙන බව වර්තමාන ජනපති නොදන්නවද? ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වනතුරු පාරාඡිකා වූ භික්ෂුවක් නොවන බව දැනගෙන මේ මොහොතේ ජනපති ක්‍රියාකළ යුතුයි.
ඕනෑම ආගමකට අයත් පූජකයින් නිසිලෙස තමන්ට අයිති කාර්යය වන ආගම දහමේ කටයුතු කරගෙන සිටිනවා නම්, කවදාවත්, හිරේ විලංගුවේ වැටෙන්න සිදුවන්නේ නැහැ. බන්ධනාගාරගතවීමට සුදුසු අය තමන්, සමාජය තුළ සිටිද්දී, කළ අවකල් ක්‍රියා එලෙසින්ම, බන්ධනාගාරය තුළත් සිදු කිරීමේ බලාපොරොත්තුව මත, විවිධ වරප්‍රසාද අපේක්ෂා කරන බව තමයි අපට නම් පෙනෙන්නේ... අනුන්ගේ වැරදි පෙන්වා, තමන්ගේ වැරදි වසා ගැනීමට හෝ, පළඳින ඇඳුම මත හෝ සමාජ තරාතිරම මත එකිනෙකාට, වෙනස් ක්‍රමවේදයක් බන්ධනාගාරයක සිදුවීම හාස්‍යයට කරුණක්. නීතියට ගරු කරන ශිෂ්ඨ සම්පන්න දියුණු රටක උසාවි භූමියක් තුළ කාන්තාවකට මෙවන් සිදුවීමක් වුනා නම්, කිසිදු ප්‍රමාදයකින් තොරව දඬුවම් ලැබෙන බවද, ලංකාව තුල සිටින අශිෂ්ටත්වය අගය කරන සියලු දෙනා දැනගත යුතුයි.
" 1874 බන්ධනාගාර පනතට අනුව විශේෂ අවස්ථාවක් නැතිනම් චීවරය ඉවත් කළ යුතු නැහැ නේද?" මේක අදට වලංගු නැත්නම්.. අැයි මේක වෙනස් කළේ? මේ කොටස මේ විදියට පනතේ සංශෝධනය කළානම් හරිනේ.. " උන් වහන්සේගේ ඇප ඉල්ලීම සලකා බැලීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ නොසිටියේ ඇයි?" හිතාමතාම අාවේ නැහැ නේද..? එතකොට තවකාලයක් හාමුදුරුවන්ව හිරේ තියන්න පුළුවන්නේ.. ඕක අප දෙන්නා බැරි තරම් ප්‍රබල වරදක්ද?
කළ වරද අමතක කරලා චීවරය ගැන පමණක් කතා කරන්න පෙළඹිලා සිටින මිනිසුන්ගෙන් පිරුණු රටක් වෙලා දැන් මේක. එදා ත්රස්තවාදීන්ගෙන් වත් බුද්ධ ශාසනයට සිදු නොවුන හානිය වර්තමානයේ සිදු කරමින් පවතිනවා. එය ශාසනයේ පමණක් නොව රටේම පරිහානියයි.
ඒ කලේ ජනාධිපති කෙනෙක් එල්ලුම්ගහට නියමවූ දෙදෙනෙක් නිදහස්කලා හැබැයි කා සමඟවත් සාකච්ඡා කලබවක් පුවත්පත් වල තිබුනේ නැත................
ජනවාරි 8 ට පෙරත් ඉටුකරනවා කියමින් මොරදුන් පොරොන්දු පසෙක තබා අනවශ්‍ය වැඩවලට මැදිහත් වෙනවා..
හිතා බලන්න ලංකාවේ මානව හිමිකම් ප්‍රධානියා කවද? කියලා
එක ජාතියක්, එක ආගමක් පමණක් ඇති රාජ්‍යක් ලොව පවතින්නේ දැයි මම නො දනිමි. බහු ජාතික, බහු ආගමික රාජ්‍යක ඒ ඒ ජාතීන්ට අනන්‍ය වූ සංස්කෘතිකාංග පවත්වා ගැනීමට සිවිල් සමාජයේදී තහංචි පැන නොනගී. එසේම විවිධ සංකෘතික පැවතීම් රටක් වර්ණවත් කරයි. නමුත් රටේ බලපැවැත්වෙන නීතියට අනුකුලව අධිකරණ හමුවේ වැරදිකරුවකු වෙන කිසිවෙකුත් බන්ධනාගාරය තුළ ස්වකිය ජාතික හෝ ආගමික අනන්‍යතාවය සහිතව සිටිය නොහැක. එසේ විය යුතුද නැත.