(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

සාමකාමී  උද්ඝෝෂණ  වල නිරත වෙමින් සිටියදී  අත්අඩංගුවට ගෙන  ඇප නියම කිරීමෙන් අනතුරුව   බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානයක රදවා ගැනීමෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතාගේ  මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට තීරණය කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතීඥවරයා ගොනු  කර තිබූ  පෙත්සම  විභාගය නොගෙන නිෂ්ප්‍රභ කිරීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීරණය කලේය.

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  විසින්  මෙම පෙත්සම ඉවත දමන ලදී.

මෙම පෙත්සමෙහි  වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක්  නම්කර සිටියහ.

කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව සහ ඉල්ලීම් කිහිපයක්  මුල් කරගෙන    සාමකාමී උද්ඝෝෂණ පෑවැත්වුණු බව පෙත්සමෙහි සදහන් වේ.

එම ස්ථාන වලට පැමිනි  පොලිස් නිලධාරීන් ලංකා ගුරු සංගමයේලේකම් වරයා ඇතුළු  පිරිසක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම වූ නමුත්  ඔවුන්  බලහත්කාරයෙන්  නිරෝධායනයට යොමු කර රදවා සිටි බව  පෙත්සමෙහි සදහන් වේ.

එමගින්   මූලික අයිතිවාසිකම් උල්ලංඝණය  වී ඇති බවට තීරණය කර ඒ වෙනුවෙන්  රුපියල් ලක්ෂයක මුදලක් වන්දි ලබා දෙන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

නීතීඥ රුෂ්ඩි හබීබ් මහතා  පෙත්සම වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.