(නිමල කොඩිතුවක්කු)
 
ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්  ජල විදුලිය නිෂ්පාදනය  30%  ඉක්මවා  ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ  මාධ්‍ය ප‍්‍රකාශක සහ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

පසුගිය දිනවල පැවති වියළි කාළගුණ තත්වය හේතුවෙන් ජල විදුලිය නිශ්පාදනය  සියයට  දහය දක්වා අඩු අගයක පැවති බවත් ඔහු කියා සිටියේය.

මේ වනවිට ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල සමස්ථ ජල මට්ටම 43.9%ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද  ජයවර්ධන මහතා සදහන් කළේය.

ජල විදුලිය නිශ්පාදනය කරන ප‍්‍රධාන ජලාශයන් වන කාසල්රී ජලාශයේ ජල මට්ටම 75.3% ක් ලෙසත්, මවුස්සකැලේ ජලාශයේ ජල මට්ටම  64.6% ක් ලෙසත්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම 84.7%ක් ලෙසත් ඉහළ ගොස් ඇතැයිද ඔහු කියා සිටියේය.

වික්ටෝරියා, රන්දෙණිගල සහ සමනලවැව ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළ අගයක් ගන්නා බවත් පැවසූ ඒ මහතා එම ජලාශවල ජල මට්ටම පිලිවලින්  25.3% ක්,  5.7%ක් සහ  27.6%ක් ලෙස පහත බැස ඇතැයි සදහන් කළේය.

දෛනික විදුලි අවශ්‍යතාව ගිගා වොට් 48 සිට ගිගා වොට් 42ක දක්වා මේ වනවිට අඩු වී ඇති  බවත්  සුලක්ෂණ ජයවර්ධන මහතා තවදුරටත් පැවැසීය.