(අජිත්ලාල් ශාන්තඋදය)
මහ ගංවතුරක අවදානමක් පැවති රත්නපුර දිස්ත‍්‍රික්කය තුළ වැසි අඩුවීමේ තත්ත්වයක් පෙන්නුම් කිරිම නිසා කළුගඟ ඇතුලූ ගංගාවල ජල මට්ටම් පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහෙත් යළි වැසි ඇතිවුව හොත් ඉතා ඉක්මනින් ගංවතුර ත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ද අනතුරු අඟවා තිබේ.
රත්නපුර නගරය ආසන්නයේ මුවගම පිහිටි ජල මාපකයේ අද(21) පෙරවරු 08.00 පමණ වනවිට කළුගඟේ ජල මට්ටම අඩි 16 (මිටර් 05) දක්වා පහළ බැස තිබූ බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව රත්නපුර ප‍්‍රදේශයේ සුලූ ගංවතුර තත්ත්වයද පහව ගොස් ඇති අතර පහත්බිම් වල ජලය බැස යමින් පවතී.
ගංවතුර නායයාම් සහ තද සුළං නිසා ආපදාවට ලක්ව ඥාති නිවාස සහ සුරක්‍ෂිත මධ්‍යස්ථාන වල සිටි පිරිස් වලින් වැඩි දෙනෙක් යළි සිය නිවාස වලට ආපසු ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මද්‍යස්ථානය පවසයි.
21දා වනවිට රත්නපුර දිස්ත‍්‍රික්කයේ ආරක්‍ෂිත ස්ථාන 16ක පවුල් 230ක පුද්ගලයින් 869ක් දක්වා අඩුවු බවද රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය අද (21) පැවසුවාය.
පැල්මඩුල්ල කොට්ඨාසයේ සුරක්‍ෂා මධ්‍යස්ථාන පහක පවුල් 36ක පුද්ගලයන් 140ක් ද, බළන්ගොඩ කොට්ඨාසයේ සුරක්‍ෂා මධ්‍යස්ථාන තුනක පවුල් 125ක් පුද්ගලයින් 431ක් ද, රත්නපුර කොට්ඨාසයේ සුරක්‍ෂා මධ්‍යස්ථාන හයක පවුල් 48ක පුද්ගලයින් 205ක් ඕපනායක කොට්ඨාසයේ එක් සුරක්‍ෂා මධ්‍යස්ථානයක පවුල් 16ක පුද්ගලයින් 50ක් ද, අයගම කොට්ඨාසයේ එක් සුරක්‍ෂා මධ්‍යස්ථානයක පවුල් 5ක පුද්ගලයින් 16ක් මෙසේ ආරක්‍ෂිතව පසුවන දිස්ත‍්‍රික් ලේකම්වරිය පෙන්වා දුන්නාය.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 ග‍්‍රාම නිලධාරී වසම් 207ක පවුල් 3962ක පුද්ගලියන් 15269ක් ආපදාවට ලක්වූ බවද දිස්ත‍්‍රික් ලේකම්වරිය පැවසුවාය. නිවාස අටකට පූර්ණ හානි සිදුව ඇති බවත් නිවාස 505කට අර්ධ හානි සිදුව ඇති බවත් දිස්ත‍්‍රික් ලේකම්වරිය පවසන්නීය.
මේ අතර පස්කඳු කඩාවැටී සහ නායයාම් වලට ලක්ව අවහිරවු මාර්ගවල පස් ඉවත් කිරිමේ කටයුතු, කඩා වැටුනු ගස් ඉවත්කිරීම ආදිය මේවනවිට ආරම්භ කර ඇති බව රතනපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසන්නීය. ගස් කඩාවැටිම් හේතුවෙන් ඇණහිට ඇති විදුලිය යළි ලබාදිමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දිවාරාත‍්‍රී කටයුතු කරයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ මරණ තුනක් සිදුවු අතර ඉන් දෙදෙනෙකුගේ පවුල් සඳහා රුපියල් පනස් දහස බැගින් ලබාදිම 20 දා සවස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් එම නිවෙස්වලට ගොස් සිදුකරනු ලැබීය.
වේවැල්වත්ත, උතුරු කන්දේ නිවසක් නායයයාම නිසා ජීවිතක්‍ෂයට පත්වූ ජී.ඞී. රශ්මික සචින්ත මල්ශාන් නැමැති නව හැවිරිදි දරුවා වෙනුවෙන් සහ කුඩා වෙළදසැළකට ගලක් පෙරළීමෙන් ජීවිතක්‍ෂයට පත්වූ ලෙල්ලොපිටිය බැරැණ්ඩුවේ ඩබ්. නුවන්තිකා හර්ෂණී විජේසිංහ නැමැති තිස් හැවිරිදි තැනැත්තිය වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාගය සිදුවිය.
මේ අතර ගංවතුරට කොටු වූ පිරිස් එගොඩ කිරිමට යාමේදී රත්නපුර බටුගෙදර ප‍්‍රදේශයේදී ඔරුව දෙකඩ කැඩිමින් අනතුරට පත්ව විසිනව හැවිරිදි ජීවන් ශෂික් කුමාර නැමැති එක්දරු පියෙක්ද ජීවිතක්‍ෂයට පත්විය.
ගංවතුර ආපාදා අවස්ථාවන්හිදී භාවිතයට ලබාදුන් ඔරු අගුල් භාවිතයේදී ඒවායේ නැංවිය හැකි උපරිම සංඛ්‍යාව සම්බන්‍ධයෙන් එම ඔරු භාවිතයට ගන්නා අය දැඩි අවදානය යොමුකළ යුතු බව පොලීසිය දැනුම් දෙයි.
එසේම ඇතැම් ප‍්‍රදේශවල විපට පත්වුවන් බේරා ගැනීම සහ කොටුවූ පිරිස් ස`දහා සහන සැලසීමට ස්ථාන ගත කර ඇති රජයට අයත් ඔරු අගුල් ඇතැම් බීමත් පිරිස් විනොදයට ගංවතුරේ පැද යන අවස්ථා ඇති බව ග‍්‍රාමීය ආපදා කමිටුවල නියෝජිතයන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වැසි තත්ත්වයේ වර්ධනයක් සිදු වුවහොත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාමේ අවදානම් සහිත ස්ථාන වල පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත්වීමට සුදානමින් සිටින ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
ඕපනායක බළන්ගොඩ, කුරුවිට, ඇහැළියගොඩ, පැල්මඩුල්ල සහ නිවිතිගල ප‍්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාසවල නාය යාමේ අවදානමක් ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය විසින් නම්කර ඇති ස්ථානවල පදිංචිව සිටින අයටද වැසි තත්ත්වයන් වර්ධනය වුවහොත් අවදානයකින් පසුවන ලෙස දන්වාසිටී.
රත්නපුර ප‍්‍රදේශයේ දී ගංගා ඇල දොළවල ජල මට්ටම් අඩුවුවත් කිරිඇල්ල, අයගම වැනි පහළ ප‍්‍රදේශවල පහත්මිබ් වල ජල මට්ට්ම් අඩූවිම ඉතා සෙමෙන් සිදුවන බව එම ප‍්‍රදේශවල ග‍්‍රාමනිලධාරිහූ කියති.
පිටාර සහ ගංවතුර හේතුවෙන් ජලයෙන් යටවු කුඹුරු රැසක් මෙවර වගා කර තිබූ බව පවසන ගොවිජනසේවා දෙපාර්තමේන්තුව හානියට පත් වගාකළ කුඹරු සම්බන්‍ධයෙන් තොරතුරු රැස්කරමින සිටින බවද පැවසුවේය.
මේ අතර කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් පවසන්නේ කොරෝනා වෛරසය නිසා ලද විවේකයන් හමුවේ ජනතාව වගා කළ ගෙවතු විශාල ප‍්‍රමාණයකට අධික වැසි සහ ගංවතුරත් පිටාර ජලයත් නිසා හානි සිදුව ඇති බවයි.
එමෙන්ම ගංගා සහ ඇලදොළවල් හරහා එගොඩ මෙගොඩවීමට යොදා තිබූ පාලම් කිහිපයකට ද ගංවතුර නිසා හානි සිදුව ඇතිබව ප‍්‍රාදේශීය ලේකම්වරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම මඩ වගුරු කඩොලාන ගොඩකරලා හදන්න පිට්ටනි....සේරම ගංගා ඇළ දොළ කඳුවැටි කපලා මඩි තරකරගනිල්ලා එතකොට ගංවතුර තර්ජන මුලුමනින්ම පහවයයි.