(සුජිත් හේවාජුලිගේ)

රට පුරා ජල පාරිභෝගිකයන් ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයට ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 620ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මින් රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් ගෙවීම පැහැර  හරිනු ලැබ ඇත්තේ විවිධ ආයතන සහ ව්‍යාපාර ස්ථාන විසිනැයි ජල සම්පත් හා ජලපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම හිඟ මුදල් අය කරගැනීමට සහ හිඟ මුදල් දිගු කලක් නොගෙවූ පුද්ගලයන්ගේ සහ  ආයතනවල  ජල සැපයුම විසන්ධි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

සිය නිවාස සහ නිල නිවාස වලට ලබා ගත් ජලය වෙනුවෙන් හිඟ මුදල් නොගෙවූ පුද්ගලයන් අතර දේශපාලඥයෝ සහ  රජයේ උසස් නිලධාරීහු  පිරිසක්ද  වෙති. එම  දේශපාලඥයන් ගෙවීම පැහැර හැර ඇති  මුදලේ වටිනාකම රුපියල් කෝටියකට වැඩිය.

එම හිඟ  මුදල් අය කර ගැනීම සඳහා සියලු දේශපාලඥයන්ට සිහිකැඳවීම් ලිපි යොමුකර ඇතැයි ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

මේ අතර හිඟ ජල බිල්පත් නොගෙවූ ජල  පාරිභෝගිකයන්ගේ ජල සැපයුම්  විසි එක්දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය අගෝස්තු මාසයේදී විසන්ධි කෙරිණ.