
(ඩයනා උදයංගනී සහ විනීතා එම්.ගමගේ)
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරීම මෙම මස 29 වැනිදා සිට අදියර 4ක් යටතේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ජූනි 29 වැනිදා පාසල් විවෘත කෙරෙන්නේ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පමණක් වන අතර සිසුන් වෙනුවෙන් පාසල් විවෘත කෙරෙන්නේ ජූලි 6 වැනිදා සිට බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වසරේදී අ.පො.ස උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පළමු අදියර යටතේ ජූලි 6 වැනිදා පාසල් විවෘත කෙරෙන අතර අනෙකුත් දරුවන් සඳහා ඉන්පසු අදියරෙන් අදියර පාසල් විවෘත කෙරෙන බව ඇමතිවරයා කීවේය.
කොවිඩ් 19 වසංගතය පැතිර යාම හේතුවෙන් ඉකුත් මාර්තු 15 වැනිදා පාසල් වසාදමනු ලැබූ අතර යළි විවෘත කිරීමට තීරණය කළ ඊයේ (09) වනවිට පාසල් වසා දමා දින 100 ක් ගතව තිබිණි.
ජුනි 29 වැනිදා පාසල් ආරම්භ වන දිනයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා අනධ්‍යයන සේවකයින් සියලු දෙනා පාසල්වලට පැමිණිය යුතු අතර දරුවන්ට පැමිණීම සඳහා පාසල් විෂබීජහරණය කර සකස් කිරීම ඔවුන් විසින් සිදුකරනු ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
දෙවැනි අදියර ජූලි 6 වැනිදා ආරම්භ වන අතර 5, 11, 13 යන ශ්‍රේණිවල දරුවන් පමණක් පාසලට ගෙන්වීමට නියමිත බව ද අමාත්‍යවරයා කීය.
ජූලි 17 වැනිදා තෙවැනි අදියර ඇරඹෙන අතර, 10 හා 12 ශ්‍රේණිවල සිසුන් පමණක් ගෙන්වීමට නියමිතය.
සිව්වැනි අදියර ජූලි 27 වැනිදා ආරම්භ වන්නේ 3 සිට 9 දක්වා වසරවල සිසුන් සඳහා පාසල විවෘත කරමින් බව කී අමාත්‍යවරයා පස්වැනි පියවර වශයෙන් පසුව 1 සහ 2 යන ශ්‍රේණිවල සිසුන් පාසල්වලට කැඳවන බවත් කීය.
සියලුම පාසල් පෙරවරු 7.30 ට ආරම්භ වන අතර 10, 11, 12, 13 යන ශ්‍රේණිවල සිසුන්ට පස්වරු 3.30 වනතුරු පන්ති පැවැත්වෙන බවත් 6, 7, 8, 9 පන්තිවල සිසුන් පස්වරු 1.30 දක්වාද, 5 වසර සිසුන්ට දහවල් 12 දක්වාද, 3 සහ 4 වසරවල දරුවන් සඳහා පෙරවරු 11.30 දක්වාද පන්ති පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා කීය.
මේ අතර අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබු 2020 උසස් පෙළ විභාගය සැප්තැම්බර් 7 වැනිදා සිට ඔක්තෝබර් 2 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා පැවැසීය.
5 වසර ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වන ඉරිදා පැවැත්වීමට තීරණය කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 3,66,783 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 3,34,381 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.
ඔහු මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටට කරුණක් ! ඒත්, බොහොම පරිස්සම් විය යුතුයි නේද ? අනේ මන්දා ...
පාසැල් ඇරලා දරුවන්ට කොරෝනා බෝවෙලා ගුරුවරු, ගෙවල් වල සිටින වයසක අය, දෙමව්පියන්ට බෝවුණාම බට කැලේට ගිනිගත්තා වගේ රටපුරා බෝවුණාම මොනවද වෙන්නේ...? තව ටික දවසක් අන්තර්ජාලය හරහා කරගෙන ගිහින් තව ටිකක් ප්‍රමාද කළා නම් නේද හොඳ?
දුරස්ථ අධ්‍යාපනය ඔය කියන තරම් සාර්ථක නැති බව හැමෝම දන්නවා. බේරෙන්න ඕනෑ නිසා එ්ක කරනවා. කොරෝනාව සීයට සීයක් ඉවර වෙන එකක් නොවේ. කොහොම හරි ඉක්මනට ඉස්කෝල පරිස්සමින් පටන් ගනිමු. දුරස්ථ අධ්‍යාපනය සාර්ථක, දක්ෂ ළමයින්ට විතරයි.
සියලුම සෞක්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරලා පරිස්සමින් ගිහින් ඉස්කෝලේ වැඩ කටයුතු කරගන්න සියලු දෙනාම හිතට ගන්න. සියලු දෙනාවම සියලු දෙවිවරු ආරක්ෂා කර දෙත්වා...!!!
ලොකු දෙයක්. මුලින්ම උසස් පෙළ පටන්ගෙන බලමු..
මෙම වෛරසයට නිසි ප්‍රතිකර්මයක් තවමත් සොයා ගෙන නොමැති නිසා කවදා හෝ මෙම තත්වය පාලනය වනතුරු රටේ එදිනෙදා කටයුතු කල් තැබීම ගෝචර නැත. පවතින තත්වය වටහා ගෙන ඊට සරිලන අන්දමින් එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට අපට සිදුවනවා. ජනතාවගේ අවබෝධය සහ දැනුවත් වීම ඊට අවශ්‍යයි
ළමයිනුත් ටිකෙන් ටික හුරුවෙන්න ඕනේ සෞක්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් සමාජයට අනුගත වෙන්න. අනික අන්තර්ජාල ක්‍රමය හුගක්ම සාර්ථක නැහැ. දෙමව්පියන් දෙන්නම රැකියාවට යන විට ගැටළු තියෙනවා. තාක්ෂණික ගැටලුත් තියෙනවා. ගම්බද දුර පළාත් වලට ගොඩක් අසාධාරණයි ගුරුවරයා සමග පන්ති කාමරයේ වැඩ කරනවා වගේ මේ ක්‍රමය සාර්ථක නැහැ.
අනේ ! කොරෝනා කළ විපතක මහත. වෙනදා පාසලේ උඩ පනිමින් දඟලමින්,කෙළි දොළෙන් දුව පැන දඟලු මේ පුංචි සුරතලුන්ට දැන් මුව ආවරණයක් දාගෙන හරියට හුස්මක් කටක් ගන්නට බැරිව මහා ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.ඒත්,මක්කරන්නද පුංචි සුරතල් දරු දැරියනේ .. මේ වසංගතය නීමවෙනකන් මුව ආවරණ දාගෙන සසුක්‍ය අංශ කියනා ආකාරයට තව ටික කලක් ඉඳීමුකෝ.. හොඳේ .. ඔබ සියළුම දෙනාට ජය !!!
1.30 සහ 3.30 ලෙස කොටස් දෙකකට පාසල් අවසන් වීමෙන් පාසල් වෑන් රථ වල පැමිනෙන දරුවන්ට ගැටලුවක් ඇතිවෙනවා නේද? එකම වේලාවක සියලුම දරුවන්ට පාසල් අවසන් කිරීමට කටයුතු කිරීමට නොහැකිද ?