(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට ස්වාධීන කොමිසන් සභාවක් පත්කර එම ජනතාවට යුක්තිය ඉටු නොකර එලඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයකු තමන් මුන ගැසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවැසූහ.
ලාභ ප‍්‍රයෝජන බලන්නේ නැතුව අවංකව ජනතාවට සත්‍ය දැනගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙස නායකත්වයෙන් ඉතා ඕනෑකමින් නැවත නැවතත් ඉල්ලා සිටින බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ.
නායකයින් පිට කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න යැයි තමන් කළ දේශනයේදී ජනාධිපති, අගමැති යැයි කියා ප‍්‍රකාශ නොකළ බවත් ජනාධිපතිවරයා එය පිළිගත්තේ නම් තමන්ට කළ හැකි දෙයක් නොමැති බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.
‘‘මුළු රටම කම්පනයට පත්කළ, රටේ ආර්ථීකය ආගාධයට ඇද දැමූ පාස්කු ඉරිදා කුරිරු ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදු වී දැන් මාස තුනකටත් වැඩියි. අම්මා නැති දරුවන්, තාත්තා නැති දරුවන්, දරුවන් අහිමි දෙමාපියන්, මුළු පවුලම අහිමි වූ ඥාතීන්ගේ තොරතුක් නැති දුක්ඛිත කඳුළු කතා වලට සවන් දෙමින්, හැකි අයුරින් ඔවුන්ව සනසන්නට වෙහෙසෙමින් මා සිටිනවා. ඔවුන් බොහෝ දෙනෙක් කඳුළු සලමින් මට කියා සිටින්නේ ”අනේ අපට වන්දි එපා, සල්ලි එපා, යුක්තිය ඉෂ්ඨ කරන්න. මේ සිදුවෙච්ච දේ ගැන සම්පූර්ණ සත්‍යය අපට හෙළි කරන්න” කියායි.
මේ කුරිරු ත‍්‍රස්ත ප‍්‍රහාරය පිටුපස සිටින අය, එය කුමන්ත‍්‍රණ කළ අය, සංවිධානය කළ අය, ඊට අනුග‍්‍රහය දැක්වූ අය, කල්තියා ලැබුණු බුද්ධි තොරතුරු හිතාමතා නොසළකා හැරි අය, සැකකරුවන් ලෙස අත්අඩංගුවට පත් වූවත් පුළුල් වග විභාගයකින් තොරව නිදහස් කරනු ලැබූ අය, කිසිදු දඬුවමක් නොලබා තවම නිදැල්ලේ සැරිසරන බව පැහැදිලියි. මේ මහා ඛේදනීය ප‍්‍රහාරය සිදුවීමට පෙරත්, එම ප‍්‍රහාරය සිදු වූ පසුත් මේ පිළිබඳව තවම යුක්තිය ඉටු වී නැති බවත්, සත්‍යය වසන් කරන්නට බොහෝ ප‍්‍රයෝග යොදමින් සිටින බවත් අපට පෙනෙන්නට තිබෙනවා.
ආණ්ඩු පක්ෂය අතින් පමණක් නොව, විරුද්ධ පක්ෂය අතින් ද අනෙකුත් පක්ෂ වලින් ද මේ සම්බන්ධයෙන් සිය වගකීම ඉටු නොවුණූ බව අපි අවධාරණය කළ යුතුයි. මෙවැනි අවස්ථාවක අපි විරුද්ධ පක්ෂයෙන් සහ ආණ්ඩු පක්ෂයෙන් බලාපොරොත්තු වන්නේ තම තමන්ට ලකුණු දමා ගැනීම සඳහා මෙම සිද්ධිය භාවිතා කිරීම නොව, සියලු පක්ෂවල නායකයන් එක සහෝදර පිරිසක් ලෙස ජනාධිපති අගමැති ද විරුද්ධ පක්ෂ නායකයා ද එකට එකතු වී මෙම සිද්ධියට අදාළ පසුතලය විමර්ශනය කිරීම සඳහා සුදුසු ක‍්‍රියාමාර්ග ගැනීමට එක්සත්ව ක‍්‍රියාකිරීමයි.
එහෙත් විරුද්ධ පක්ෂයෙන් එවැනි ශක්තිමත් බලපෑමක් සිදු නොවූ බව ද අපට පැහැදිලියි. පක්ෂ, පාට වශයෙන් බෙදී සත්‍යය යටපත් කරන්නට උත්සාහ කරනවා විනා මෙතෙක් පත් කළ කොමිෂන් සභා හෝ කමිටු ඉදිරිපත් කළා යැයි කියන කිසිඳු වාර්තාවක් ජනතාව අතට පත් වී නැහැ.
එබැවින් අප‍්‍රියෙල් 21 වනදා සිදු වූ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී පුද්ගලයින්ගෙන් සැදුම්ලත් කොමිසමක් පිහිටුවා නිසි පරික්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමටත්, ඔවුන්ට රිසි දඬුවම් දීමක්වත් මේ වනතුරු සිදු වී නැහැ.
ස්වාධීන කොමිෂන් සභා යැයි හැඳින්වූ කොමිෂන් සභාවල කිසිදු ස්වාධීන බවක් හෝ අපක්ෂපාතී බවක් හෝ විනිවිද පෙනෙන බවක් හෝ තිබුණේ නැහැ. මේ විනිවිද පේන්නේ නැතිභාවය හැමදාම තිබුණා. අපේ ලංකාවේ විවිධ අවස්ථාවලදී පවත්වන ලද කොමිෂන් සභා වාර්තා හුඟක් තියෙන්නේ කාපට් එක යටයි. ඒවා මිනිස්සු දන්නෙත් නැහැ. ඒවා අපක්ෂපාති කියලා කියන්නත් බැහැ.
එබැවින් එවැනි ආකාරයට නොව නිවැරදි හා කාටත් පිළිගත හැකි ආකාරයට අපක්ෂපාතී පුද්ගලයන්ගෙන් යුත්, විනිවිද භාවයෙන් යුත් කොමිෂන් සභාවක් පත්කර මෙම ප‍්‍රහාර පිළිබඳ සම්පූර්ණ සත්‍යය ජනතාවට හෙළි කරන ලෙස මම ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
මේ කොමිෂන් සභා පිහිටුවීමේදි ජනාධිපති,අගමැති,විපක්ෂනායක සහ පක්ෂවල නායකයින් එකතුව කටයුතු කළ යුතුයි. ඒ අයගේ පොදු තීරණයෙන් මේ කොමිසන් සභා පත් කළ යුතුයි. ඒ නිසා කාටවත් වාසි වෙන විදියට තමන්ගේ පැත්ත පමණක් ඉස්මතු වෙන විදියට වාර්තා සකස් වෙන එක නවත්වලා සත්‍ය හෙළිදරව් කළ යුතුයි.
ඡන්දයක් පැවැත්වීමක් ගැන කතාකරන්නට පෙර මෙම මහා විනාශය පිළිබඳව සැබෑ විමර්ශනයක් සඳහා සියළු බලතල සහිතව අදාල ස්වාධීන කොමිෂන් සභාව පත් කිරීම අත්‍යාවශ්‍ය මෙන් ම කඩිනමින් සිදුවිය යුතු කාරණයක් වේ. අපිට මේ වෙලාවේ ඕන මැතිවරණ නෙමෙයි අපිට ඕන සත්‍යයි. මැතිවරණත් අවශ්‍යයි නමුත් මේ කාරනයට ප‍්‍රමුඛත්වයක් හිමි විය යුතුයි.
අප රටේ අණ්ඩු පක්ෂයෙන්, විපක්ෂයෙන් හා අනෙකුත් පක්ෂ වලින් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ අප ආදරණීය ජනතාව ද අප රටේ ජාතීන් අතර පැවති ශුද්ධ වූ සමගිය ද සංචාරක ව්‍යාපාරය හා පොදුවේ රටේ සමස්ත ආර්ථීකය ද බිඳ දමමින් දරුණු පීඩාවකට අප දේශය ඇද දැමූ මෙම සිද්ධිය, අප රට කලින් පාලනය කළ රජයන් ද කළාක් මෙන් රතුපලස යට සඟවා දමන්නට කටයුතු නොකරන ලෙයසි.
පීඩිත සියලු දෙනාට යුක්තිය, සාධාරණය ඉෂ්ඨ කරමින් අප රටේ ජනතාව මාස තුනක් තිස්සේ සිදුවේ යැයි බලාපොරොත්තුවෙන් සිටින මෙම බෝම්බ ප‍්‍රහාර සිද්ධිය පිටුපස ඇති ජනතාවට හෙළි නොකරන සත්‍යය කුමක් ද කියාත් මෙම සත්‍යය හෙළි කිරීමට එරෙහිව බලපෑම් කරන අදිසි බලවේග කවරේද කියාත් ජනතාවට හෙළි කරන්නැයි අපි ඉල්ලා සිටිනවා.
රතු පස්වල සිද්දිය, රොෂේන් චානක ඝාතනය සම්බනධ සිද්ධිවල වාර්තාත් අපි තවම දැක්කේ නැහැ. ඒ දේම මේ වාර්තාවලටත් වෙයිද කියන ප‍්‍රශ්නය අපිට තියෙනවා.
මෙම ඉල්ලීම ඉටු නොකර එලඹෙන ජනාධිපතිවරණයේ දී ආණ්ඩු පක්ෂයෙන් හෝ විරුද්ධපක්ෂයෙන් හෝ වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වන හෝ එම පක්ෂ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති අපේක්ෂකයන් මා මුණ නොගැසෙන බව දන්වා සිටිනවා.
පළමුව කළ යුතු දේ සිදු කල යුතුයි. ඒ අනුව පළමුව ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරලා ඒ අයට සුදුසු බලතල දීලා පහසුකම් සපයලා ඒ වාර්තාව පිළියෙළ කළ යුතුයි. අපේ ජනතාවගේ ප‍්‍රශ්න වලට පිළිතුරු දිය යුතුයි. ජනතාව තාවකාලික ලාභ ප‍්‍රයෝජන ගැන නොසිතා යුක්තිය වෙනුවෙන් රටේ සැබෑ උන්නතිය වෙනුවෙන් ද තීරණ ගනු ඇතැයි විශ්වාස කරනවා.
මම කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන බවත් අසරණ අහිංසක ජනතාවට සිදුවිය යුතු යුක්ති සාධාරණය උදෙසාත් ජනතා පරමාධිපත්‍යය උදෙසාත් පෙනී සිටීමට කැපවන බව විශේෂයෙන් කිව යුතුයි. ඇතැම් උදවිය හා සමහර මාධ්‍ය ආයතන සමහර පක්ෂ සමඟ මාව සම්බන්ධ කරලා මට ලේබල් අලවන්නට උත්සාහ කරනවා.
කරුනාකරලා මාව පක්ෂවලට එකතු කරන්න උත්සාහ කරන්න එපා මට පක්ෂයක් නැහැ. අපි ජනතාවගේ පැත්තේ ඉන්නේ. කරුණාකරලා මට පක්ෂ පාට එලවන්න එපා කියලා මාධ්‍යයෙනුත් ඉල්ලා සිටිනවා.
ලාභ ප‍්‍රයෝජන බලන්නේ නැතුව අවංකව මේ ගැන කටයුතු කරලා අපට සත්‍ය දැනගැනීමේ අවශ්‍ය ඒ කටයුත්ත කඩිනම් කරන්න කියලා නායකත්වයෙන් ඉතා ඕනෑකමින් නැවත නැවතත් ඉල්ලා සිටිනවා’’ යැයිද අගරදගුරුතුමෝ එහිදී පැවසීය.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයන්ට ඕනේ මිනිස්සු මරාගෙන හරි බලයට එන්න. ඒ ගොල්ලන්ගේ ළඟම කෙනෙකුට මෙ දේ වුණා නම් ඔහොම ඉන්න එකක් නැහැ.
පොහොට්ටුවේ කට්ටිය හම්බවෙන්න ආවට කමක් නැහැ...
මූණ දැක්කත් අප්පිරියයි. මේ රටේ ඉන්න බැරි නම් වතිකානුවටම ගිහිං ඉන්නවා හලෝ... ඔහේ නැති එකමයි හොඳ කුහකයා...
අනිකුත් ආගමික නායකයෝත් මෙම ප්‍රතිපත්තිය අනුගමනය කළා නම් හොඳයි.
අපි ඉන්නෙත් ඔබ වහන්සේගේ මතයේමයි. එක්කෙනෙක්වත් අපි හමුවෙන්න එන්නත් එපා...
මෙම ප්‍රකාශය දුටු විට මට නම් ඇතිවුනේ ඉතාම කණගාටුදායක හැඟීමකි. කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා පිළිබඳ සිද්ධියේදී ජනමාධ්‍ය මඟින් පතුරුවා හරි කතා බහ හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව හෝ කියන කිසිදු දෙයක් විශ්වාස නොකරන වාතාවරණයක් රටතුළ පැතිරී ඇත. මේ පසුබිම ප්‍රයෝජනයට ගනිමින් පූජ්‍ය රතන හිමියන් ආණ්ඩුව පෙරලීමේ උත්සාහයක පවා නියැලෙමින් සිටිති. අති උතුම් කාදිනල් තුමාටද රතන හිමියන්ගේ රෝගය බෝවෙලා වත්ද? මැල්කම් රංජිත් හිමිපාණන්ටද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කරන කිසිඳු කොමිසමක් හෝ ආරක්ෂක අංශයක් විශ්වාස නැති බවක් පෙනේ. මේවා ගැන සොයා බලන්නට කාදිනල් හිමිට අවශ්‍ය ස්වාධීන පුද්ගලයින් කවුරුන්ද යන්න පවසන්නේ නැත. මේ ගැන අන්තර්ජාලයේ මෙසේ ලියා තිබුණි. "බෝම්බ ප්‍රහාරයේ වේදනාව මැදින් යළි ජනතාව සංහිඳියාව කරා කෙමෙන් කෙමෙන් ගමන් කරණා විට යට යන ගිනි අඟුරු මතට පැට්‍රල් හැළීම කාදිනල් හිමි විසින් දිගින් දිගටම කරගෙන යනු ලබන අතර අප මීට පෙර වාර ගණනාවකදී පෙන්වා දුන් පරිදි මේ සම්බන්ධයෙන් කතෝලික සභාව යම් පියවරක් ගත යුතුව තිබේ."
ලංකාවේ පළමුවෙනි බෞද්ධයා ඔබයි...!
පොහොට්ටු නායකයාට විතරක් පුලුවන් හම්බ වෙන්න, හැබැයි හොරෙන්...
බන්දුල ඔයාගේ මූණත් දාන්නකෝ අපට බලාගන්න. ප්‍රියද අප්පිරියද කියලා බලන්න. එතුමා තමා අද ලංකාවේ ඉන්න ජනප්‍රියම පුද්ගලයා..., එතුමාගේ මුහුණ අපට නම් ප්‍රිය උපදවනවා. මිනිස්සුන්ට අපහාස කරන්න එපා. එතුමා ආගමික නායකයෙක්...
අවංකවම ගරුකරනවා ඔබතුමාගේ අදහස් වලට... සියලුම ආගමික නායකයින් අනුගමනය කලයුත්තේ මෙයයි. පාට, ජාති, පක්ෂවලට බෙදීම නොවෙයි.. මේ අවස්ථාවේදී කළයුත්තේ. ඇයි මේ, ඇත්ත ඇති සැටියෙන් ජනතාවට නොදෙන්නේ...? සියලුම දේශපාලන බලධාරීන් වහබ් වාදයට යටවෙලාද...?
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරද ගුරුතුමාගේ මෙම ප්‍රකාශය අප අගය කරන්නෙමු. රටට අවංකව සේවය කරන කිසිදු " මිනිසෙකු " ආගමික නායකයන් හමුවීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මිනිස් ආත්ම ලබපු " තිරිසන් හිවලුන් " ආගමික නාකයාදීන් හමුවීමට යන්නේ තමන් විසින් කළ පව් මෙන් ජඩවැඩ සමාජයෙන් වසන්කිරීමට නොවේද? ඇත්තෙන්ම සියලුම ස්වාමීන් වහන්සේලාත් අනෙකුත් ආගමික නායකයිනුත් මෙම නිවටයින්ට පැත්ත පළාතේ ඒමට ඉඩ නොදිය යුතුයි.. අවංකව සේවය කරන මිනිසුන් කිසිවෙකු පසුපස නොයයි.
දේශපාලකයින්ට කඩේ නොයන තරමට ඇඟට ගුණයි.
ඔබවහන්සේ මෙසේ කීවාට, උන්වහන්සේලා අඬගහලා පිරිත් නූල් බඳිනවනේ. එත්, මම මේ බැලුවේ, මෙතන කුලප්පුවෙලා බුරන්නේ ඇයි කියලයි? කොහොමත් කාදිනල්තුමා මෙයාලටත් ආදරේ ඇතිනේ නේද?
බන්දුල ශුවර් එකටම සමනලයෙක් වෙන්න ඇති....
සිංහල බෞද්ධයෙක් වෙච්ච මමත් ආරාධනා කරනවා... ඔබතුමා හරි මේ රට බාර අරගෙන පාලනය කරන්න කියලා.
දෙවියන් වහන්සේ මේ මිනිස්සුන්ව බේරාගත්තේ නැත්තේ ඇයි?
පින්සිදු වේවි සජිත්ට කඩේ යන්න නම් එපා..
දළදා මාලිගාවට, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ, අරන්තලාවේ, කැබිතිගොල්ලෑවේ සිය ගාණක් මැරෙන වෙලාවේලංකාවේ නෙවේද හිටියේ?
ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින කරුණක් ඇත. ක්‍රිස්තියානි ආගම විසින් දුප්පත් සිංහල බෞද්ධ ජනතාව එම ආගමට හරවා ගැනීමට එරෙහි වී නියම නායකකම පෙන්වන්න. බොදුණු පසුබිම කිය කිය ඒක නැති කරන්න එපා..
බන්දුල මහතාගේ කතාව සැර වැඩි වුණත්, ඔහු කියන දේ මෙහි බොහෝ දෙනා තේරුම් නොගනී.. පාලිත වැනි අය සිටින තාක් කල් එය එසේම වේවි.
දේශපාලක නායකයින් විතරක් නෙවෙයි, ඔන්න එයාලගේ හාමිනේලාටත් ඔය තහංචිය වලංගුයි ඔන්න.
කතෝලික ජනතාව වෙඩි හරියක් 2015 යහපාලනයට ජන්දය දීපු අය අපි දන්නේ නැහැ.. ඡන්ද වෙනස් වෙන්නේ පල්ලියේ බලපෑමෙන්ද? නැද්ද? කියලා... කෙසේ වුණත් ලංකාවේ ඡන්ද පාලනය කිරීමේ හැකියාවක් ජාතීන් අනුවත් අාගම අනුවත් සිද්දවෙන බව නොරහසක්... දැන් නහයෙන් අඬනවා කට්ටියම ඉල්ලන් කාලා..
කාදිනල්තුමනි, අවස්ථාවක් සලසාගෙන අස්ගිරි, මල්වත්තේ හිමියන්ටත් බණ ටිකක් දේශනා කළොත් හොඳයි කියා සිතෙනවා.
බන්දුලගේ කතාව අනුරුද්ධ වගේ අයට සැර වුණාට බුද්ධිමත් මිනිසුන්ට එ්ක තේරෙන්නේ බාල බොළඳ ගොන් කතා හැටියටයි.. ආණ්ඩුවලට කඩේ යාම නවත්තලා රට බේරගන්න ක්‍රමයක් ගැන හිතන්න පුරුදුවෙන්න ඕනෑ අනුරුද්ධලා වගේ අය. අනික දුප්පත්, සිංහල මිනිස්සු ආගමට හරවගන්නවා නං එ්කට වගකියන්න ඕනත් අවුරුදු 71ක් රට කරවපු උන් තමයි... මිනිස්සුයි, රටයි දුප්පත් කරලා තියෙන්නේ කව්ද? ලේ දුන්නට මොලේ දෙන්න බැහැනේ අනුරුද්ධ...!!!
දේශපාලකයින්ට කඩේ යන්නේ නැතිව සැප විඳිමින් ගොඩනැගිලි කර්මාන්තයේ යෙදෙන්නට නොහැකියි. පවතින මෙම තත්ත්වය වෙනස් කිරීමට මෙතුමා ලබාදීමට උත්සාහය කරන ආදර්ශය මේ මොහොතේ අපි ඉතා අගය කළ යුත්තෙමු...
අතිගරු කාදිනල් තුමා කියන්නේ කුමක්ද යන්න සමහරක් අයට පැහැදිලි නැහැ වගෙයි. අපි කවුරුත් සමස්තයක් වශයෙන් පක්ෂයකට කැමතියි. බොහෝදෙනෙක් තම වාසිය තකා එහෙම කරනවා. එ්ත් කමක් නැහැ පොදුවේ රට ගැන හිතන්න. පල්ලිය තිබුණොත් එහෙම නැත්නම් පන්සල තිබුණොත් අපට එහි ගියහැකියි. එය තුළ බෝම්බ පුපුරනවා නම්..., අපි කොහොමද එහි යන්නේ... මිනිස් ජීවිතවල වටිනාකම මිලකළ නොහැකියි.
කාදිනල්තුමාට කුසගින්න නොදැනුණාට, අපේ රටේ කුසගින්න නිවා ගැනීම හා ඇඟ නොවෙහෙසවා සැපවත් ජීවිතයක් ලබාගැනීමේ අරමුණ ඇතිව පූජ්‍ය තත්වයට පත් වුවන් කොටසක් සිටිනවා. ඔවුන්ට දේශපාලකයින්ට ආවැඩීමකින් තොරව පැවැත්මක් කොහිද? එවැනි පූජකයින්ට අදාලව නම් දේශපාලකයෙකු ඔවුන් වෙතට පැමිණීම දෙයියන්, බුදුන් පැමිණීමටත් වඩා වටිනවා.
කාදිනල්, රටේ පාලකයන් කිව්වම ඔහේ හිතුවද ඉන්දියාවේ මෝදි කියලා? දැනට රට පාලනේ කරන්නේ අගමැතියි, ජනාධිපතියි. රටේ සියලුම දේශපාලකයින් කිව්වනං හරි. ඔයාගෙ බබා උක්කුන් පාට් හොඳයි අර ඇස් දිග අයට කියන්න. තම තමන් තමන්ගේ රාජකාරිය කරගෙන හිටියා නම් වටිනවනේ? මේ රටට කෙල වෙලා තියෙන්නේ ඔහේ වගේ අයයි, මහනායක හාමුදුරුවොයි පක්ෂ වලට කඩේ යන නිසා තමයි. ලෝකෙට ගිහින් බැලුවානම් තේරෙයි අනෙක් රටවලත් ආගමික නායකයන් එකඑක පක්ෂවලට කඩේ යනවද කියලා...
පූජ්‍ය මැල්කම් කාදිනල් රතන අගරදගුරු...
මට සමහරකගේ අදහස් කියවද්දී, හඳට බුරන සුනඛයින්ව මතක් වුණා. හොරු දාන මස්කට්ට සූප්පු කරලා සුවසේ නිදාගන්න සුනඛයා පායපු සඳකට බුරන එක මහා ඝෝෂාවක්... එ්ත්, සුනඛයින් එහෙම නොවුණොත්, ඒකා නරියෙක් වෙනවනේ...
ආගමික නායකයන් දේශපාලනය ගැන කතා නොකර පොදුවේ රටේ කළයුතු දේවල් ගැන කතා කළයුතුයි. කිසිම ආගමික නායකයෙක් රටේ ජාතික ප්‍රතිපත්තියක් වෙනුවෙන් හඬ නගන්නේ නැත. අගරද ගුරුතුමාද වරද්දාගෙන තිබෙන්නේ දේශපාලනය කරන අය ගැන කතා කරන්න ගොස්ය. අනික කතා එකකට එකක් පරස්පරයි. සැබෑවටම කාදිනල්තුමෙක්ද යන්න ප්‍රශ්න කරන තැනට ප්‍රශ්නේ අනාගෙන තිබේ. අනික පිස්සු උපවාසකාරයෙක් බලන්න ගොස් අනවශ්‍ය ප්‍රශ්නයකුත් හදාගත්තා. මයික් දැක්ක පලියට කටට එන හැමදේම කියන්න යන අයට මේවා හොඳ පාඩම්ය.
කාදිනල් වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට නිරතුරුවම ලැබේවා !!! අපිට සිටිනවද ඔබ වැනි ආගමික නායකයෙක්?
අතීතය අමතක කර හෝ ඒ අමිහිරි අතීතය නොදැනගෙන සමහරු කතා කරන්නේ...? ඒ සමහරවිට කිසියම් මානසික වින්දනයක් ලැබීමට විය හැකියි. එදා කළු ජුලිය මැව්වෙත් ඔය වගේ අය තමයි. අපේ ගමේ හිටිය සෙල්ලදොරේ මුදලාලිගේ කඩේට ගිනි තිබ්බේ ඔය කියන ජාති මාමකයින් තමයි. එකෙන් වුනේ ඒ අහිංසක වෙළෙන්දා තම ගමට ගිය එකයි. අදත් ඒ පාඩුව මකන්න නගරයට හැකිවෙලා නැහැ. මම මේ කියන්නේ කාටවත් කඩේ යන්න එහෙම නොවෙයි. මෙතෙක් කල් මම කාටවත් කඩේ ගිහින් නොමැති නිසයි. එදා පල්ලියට ගහලා ගහපු අයගේ ජාතියට කිසිම හානියක් නොවුනේ අගරදගුරුතුමාගේ දූරදර්ශී බව නිසයි. පන්සලකට ඔය දේ වුණානම් තත්වය වෙනස් වෙන්න තිබුණා. තව ටිකක් හිතන්න අපිට අවශ්‍ය සාමය නේද කියලා? එහෙත් ලංකාවේ ත්‍රස්තවාදයෙන් ජයගන්න කිසිවෙක් හිතන්න එපා...
මා සිංහල ජාතියට මෙන්ම මාගේ බෞද්ධ ආගමට පණ සේ ආදරය කරමි. අවුරුදු 71ක් රට කළ පාලකයින්ට දොස් කීමෙන් අදහස් කරන්නේ ඔබ කිසි දිනක ඡන්දය නොදුන් බවද? එසේ නොමැති නම් ඔබ මට කී දෙය ඔබටම කියාගන්න.
නායකයෝ කියාගන්න එක්කෙනෙක්වත් මේ රටට ආදරේ තියෙන අය නෙවෙයි
හොඳ අදහස් ගොඩක්. නමුත් සේරටම අමතක දේ තමයි ගොඩක් මැරුණු වග සහ එයට කිසිම කෙනෙක් වගකීම ගන්නේ නැති එක. කර්දිනල්තුමා කියන්නේ එ්කයි. පාලක පක්ෂය සහ විපක්ෂය බෝලේ පාස් කරනවා විතරම තමයි..
එක සත්‍යයක් කියන්නම්... පාස්කු බෝම්බෙන් පස්සේ තමා කතෝලික සභාවත් නින්දෙන් ඇහැරුනේ... මතකද යුද්දේ කාලේ මන්නාරම් රදගුරු රායප්පු ජෝසේෆ්.. ඔය සභාවේ එක වචනයක් කිව්වද? කරබාගෙන හිටියා මිසක්... තමන්ගේ වරිගේ නැසෙනකොට තමයි කතෝලික සභාව නින්දෙන් ඇහැරුනේ... දැන්වත් සතුටුයි සිංහල බෞද්ධ අපිත් එක්ක එකට ඉන්න එක ගැන...