(අංජුල මහික වීරරත්න)

අසීරු කාල පරිච්ඡේදයක රටත්, ජනතාවත් වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බව ආණමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනුනා හිමියෝ පැවැසූහ.

අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දුන් ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමට ජනාධිපතිවරයා දරණ උත්සාහය පිළිබඳ ඇතැමුන්ට වැටහීමක් නොතිබීම කණගාටුවට කරුණක් බවත්, ජනාධිපතිවරයා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට මහාසංඝරත්නයේ ආශිර්වාදය නිතැතින්ම  හිමිවන බවත් උන්වහන්සේ  පැවසූහ.

ඓතිහාසික මහනුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු,  අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි  අනුනාහිමියන් බැහැදුටුවෙිය.

එහිදී අස්ගිරි අනුනා හිමියෝ මෙසේද කීහ.

මෙම රට වැටී තිබූ තැන පිළිබඳව ඇතැමුන්ට අවබෝධයක් නැහැ. ඒ වගේම වැටුණු රට යළි ගොඩනැඟීමට ඔබතුමා දරණ උත්සාහය පිළිබඳ ඔවුන්ට නිසි වැටහීමක් නැහැ. ඒ නිසා යම් යම් දේවල් ප්‍රකාශ කරනවා. 

මේ රට වැටී තිබු අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් තරමක් දුරට හෝ ගොඩගැනීමට ඔබතුමා දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් කටයුතු කළා. එහිදී ඔබතුමාගේ පෞද්ගලික දේපළ පවා අහිමිකර ගැනීමට සිදු වුණා. 

ගෙවල් දොරවල් පවා අහිමි වුණා. 

වර්තමානයේ රටේ මතුව ඇති ගැටලුවලට ද  විසඳුම් ලබාදීමට ඔබතුමාට ශක්තිය තිබෙනවා. 

කුරුන්දි විහාරය අවට ජනතාව මෙතෙක් කාලයක්  එකමුතුව කටයුතු කළා. නමුත් මෑතකදී පිටතින් කණ්ඩායමක් පැමිණ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරමින් සිටිනවා. ඒ පිළිබඳව ද අවධානය යොමු විය යුතුයි.‍