(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ ජනපතිගේ සාර්ථකත්වය බලා සිටින්නට බැරි දේශපාලන කණ්ඩායම් වේදිකා ගානේ නැග මඩ ප්‍රචාර ගෙන යමින්  බලය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රනිල් එදා අභියෝගය බාර නොගත්තා නම් අද ලංකාව තිබෙන තැනවත් හිතාගන්නට නොහැකි වනු ඇතැයි විජයවර්ධන මහතා කීය.

එක්ව ජයගමු ගම්පහ ජනරැළිය අමතමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

අද ගම්පහ දිස්ත්‍රික්කයටම සුවිශේෂී දිනයක්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව වසර දෙකක් වෙනවා. එතුමාගේ දෙවර්ෂ පූර්ණ සැමරීම  ගම්පහදී සිදුවෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දී තිබෙනවා. අද මේ වේදිකා දිහා බැලු විට සෑම පක්ෂයකටම අයත් දේශපාලන නායකයින් රැඳී ඉන්නවා. ඔවුන් රැඳී ඉන්නේ මේ රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙනුයි යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කීය.