(ඩයනා උදයංගනී)

රටම මහා අභාග්‍යයකට මුහුණ පා අවස්ථාවක දේශපාලනඥයන් ද ජනතාවගේ පැත්ත ගත යුතු බවත්, ජාත්‍යන්තර කම්කරු දිනයේ දී තමන් ද පාරට බැස්සේ ඒ නිසා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රටේ තිබෙන දහසකුත් ප්‍රශ්න සමඟ ජනතාව පීඩාකාරී තත්වයක සිටින විට ගෙදරට වී සිටීමේ හැකියාවක් තමන්ට නැතැයිද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

නව ආණ්ඩුවක් පිහිටුවීමට නොදී වත්මන් ආණ්ඩුව තවදුරටත් බලයේ සිටීමට උත්සාහ කළහොත් රටේ ප්‍රශ්න තවත් උග්‍ර වනු ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මගින් අද (1) රට පුරා සංවිධානය කර තිබූ විරෝධතා මාලාවේ පොළොන්නරු දිස්ත්‍රික් විරෝධතාවයට එක්වෙමිනි.

රටේ පවතින අභියෝග ජයගැනීමට නම් ජනතා ප්‍රශ්න තේරුම් ගත් ආණ්ඩුවක් ආ යුතු බව කී හිටපු ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව ජනතා ප්‍රශ්න දෙස තවත් බලා සිටිනවාද නැතිනම් ජනතාවට සුදුසු ආණ්ඩුවක් තෝරාගන්නට ඉඩදී ඉවත්වෙනවාද යන්න දෙස ජනතාව බලාසිටින බව සඳහන් කළේය. එසේ නොවුවහොත් ජනතාව නිවෙස්වල මියයන තත්වයක් ඇතිවනු ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් රටේ ලක්‍ෂ 2ක 3ක පිරිසක් බඩගින්නේ සිටින බවත්, ආහාර ඉල්ලා තමන්ට රට පුරා ජනතාවගෙන් ඇමතුම් ලැබෙන බවත් කීවේය. තමන් ගාලු මුවදොර පිටියේ පවත්වාගෙන යන විරෝධතාවයට ආශීර්වාද කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.