(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ ප්‍රශ්න විසඳීම සඳහා පත් කෙරුණු ජාතික සභාව කමිටුවේ පළමු රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (29) පෙරවරුවේ පැවැත්වුණු අතර එම රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරුන් සහභාගී නොවීම විශේෂත්වයකි.
ජාතික සභාව රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සහභාගී වූයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.
විපක්ෂ නායකවරයා වෙනත් හදිසි කටයුත්තක නියැලී සිටි හෙයින් තමාට එම රැස්වීමට සහභාගී වන්නැයි ඔහු දැනුම් දුන් බව කිරිඇල්ල මහතා සඳහන් කළේය.
මෙයට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරන සෙසු හවුල්කාර පක්ෂවල නායකයන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් ,රිෂාඩ් බදුර්දීන් සහ පලනි දිගම්බරම් යන මන්ත්‍රීවරුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයාද ජාතික සභාවට සහභාගි වූහ.
මේ අතර ‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ අනුකමිටු දෙකක් පිහිටුවීමට තීරණය කෙරිණ.
කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට මෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇති කර ගැනීමට මෙම අනුකමිටු පිහිටවනු ලැබේ.
මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අසංක නවරත්න, ජීවන් තොන්ඩමන්, සිසිර ජයකොඩි, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, අලි සබ්‍රි රහීම්, රෝහිත අබේගුණවර්ධන, වජිර අබේවර්ධන, ටිරාන් අලස්, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාද සහභාගිවූහ.
ජාතික සභාවේ පළමු රැස්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ජාතික සභාවේ රැස්වීමට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද සහභාගිවූ බවයි.
මෙම සභාව ජනතාව හා පාර්ලිමේන්තුව අතර ඇති විශ්වාසය තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා විවෘත කෙරුණු අලුත් දොරටුවක් බවද ඔහු පැවසීය.
ජාතික සභාව හමුවේ කරුණු දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ මුදල් කමිටු වල බලය විපක්ෂයට හිමිවිය යුතු බවයි.
මෙම කමිටුවල බලය විපක්ෂයට ලබා නොදුනහොත් ජාතික සභාවේ ඉදිරි රැස්වීම්වලට සහභාගී වීමේදි දෙවරක් සිතීමට සිදුවන බවද ඔහු ප්‍රකාශ කළේය
ජාතික සභාව සෑම පාර්ලිමේන්තු සතියකම බ්‍රහස්පතින්දා රැස්වීමටද මෙහිදී තීරණය කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න කට්ටියගෙන් තේරුම් ගන්න පුළුවන් මේ අය කරන්න යන වැඩ ගැන...!
මෙයාලාව නඩත්තු කරන්න තවත් අමතර බරක් මහජනයාට මිසක් කිසිම සේවයක් අපිට ලැබෙන්නේ නෑ...