(අමිල චින්තක ගමගේ)

ජාතික සත්ව සංගණනය සඳහා නිවාස වලට බෙදා දෙන තොරතුරු පත්‍රිකා ලක්ෂ 70 ක් රජයේ මුද්‍රණාල විසින් මුද්‍රණය කර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ ( කෘෂි තාක්ෂණ ) මහතා සඳහන් කරයි.

මේ වන විට එම සියලු පත්‍රිකා දිස්ත්‍රික්ක 25  පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බෙදා හැර අවසන් බවද ඒ මහතා පැවසීය. 

කෘෂිකර්මය විනාශ කරන සත්වයන් ලෙස සැලකෙන වඳුරා, රිළවා ,මොනරා, දඬුලේනා යන සත්වයන් මෙම ජාතික සත්ත්ව සංගණනය යටතේ සමීක්ෂණයට ලක් කෙරේ. එය මාර්තු 15 වැනිදා පෙරවරු 8  සිට 8.5 දක්වා වනාන්තර හැර සියලුම ගෙවතු වලදී සිදු කිරීමට නියමිතය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් නිදහස් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරන්නේ සත්ව සංගණනයට ග්‍රාම නිලධාරීන්ට වගකීම් පැවරුණත් ඔහුන් ඒ සඳහා ප්‍රවීණයන් නොවන බවයි.ඒ නිසා ග්‍රාම නිලධාරීවරුන්ට කිසිම දෝෂාරෝපණයක් එල්ල නොකරන ලෙසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් පරිසර සංවිධානද සඳහන් කරන්නේ මෙම සංගණනය මගින්  ඵලදායි යමක් සිදු නොවනු ඇති බවයි.