(සුජිත් හේවාජුලිගේ)

ජාතික ආරක්ෂක අරමුදලේ වාර්ෂික වාර්තාව වර්ෂ ගණනාවකින් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය.

මෙම අරමුදලේ 2016 සිට 2025 දක්වා කාලය සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව කී හෙතෙම ඒ සඳහා සියලු නිලධාරීන් කැඳවන බවද සඳහන් කළේය.

අරුණ ජයසේකර මහතා මෙසේද පැවසීය.

අපි බලයට පත්වුණාට පස්සේ වාර්තාව ලබා නොදීම ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කළා. තාක්ෂණික ගැටලු කිහිපයක් තියෙනවා. දැන් ඒ ගැටලු නිරාකරණය කරගෙන යනවා. අපි සැලසුමක් හදලා තියෙනවා. විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. දැනට වැඩපිළිවෙළක් යනවා. ඉදිරි මාස කීපයේදී මේ වාර්තාව ඉදිරිපත් කරගන්න පුළුවන් වේවි.

ජාතික ආරක්ෂක අරමුදල සහ අපි වෙනුවෙන් අපි අරමුදලට ව්‍යවස්ථා දෙකක් තියෙනවා. කාර්යභාරයන් කිහිපයක් තියෙනවා. පොදුවේ ද්විකරණය වීමක් අපි දකිනවා. අපි මේ සම්බන්ධයෙන් කමිටුවක් දාන්න පාලක මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ කමිටුවේ නිර්දේශ ටික එනවා. නිර්දේශ ටික කබිනට් මණ්ඩලයට දාලා අවශ්‍ය කටයුතු කරනවා. එතකොට රණවිරුවන්ට යම් දෙයක් කරන්න පුළුවන් වේවි. අපි විධිමත් වැඩපිළිවෙලක් කරගෙන යනවා.