යුද සමයේ දෙපාර්ශවයෙන්ම සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධ සිදුවීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලිකත්වය ගෙන සිදුකිරීමට යන අන්තර්ජාතික පරීක්ෂණයට ශී‍්‍ර ලංකාව අනිවාර්යයෙන්ම සහය දිය යුතුව ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියයි.

පසුගිය 18 වැනිදාට යුද්ධය අවසන් වී වසර 5 ක් ගතවී අවසානය.

ශ්‍රී ලංකා රජයේ පරීක්ෂණයකින් සිදුව ඇති අපරාධවලට සාධාරණය ඉෂ්ඨකරන්නෙමැයි රජය පොරොන්දුවුවද ඒ කිසිවක් ඉටුකිරීමට යුද්ධය අවසන්වී වසර 5 ගතව ඇති තැන ශී‍්‍රලංකාවට නොහැකිව ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයට එවන් පරීක්ෂණයක් සදහා කාලයදී එයින් ප‍්‍රතිඵලයක් නොමැති බව පෙනී යාම නිසා දැන් අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකිරීමට යද්දී රජය ඊට විරෝධය දක්වන බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කරයි.

රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ගන්නා තීරණයන්ට හිස නැමිය යුතුව ඇතැයිද එහි සංවිධානය පවසයි.

පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරිපත් කර සම්මත කරගත් යෝජනාවලියෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වරියට යුධ සමයේ  ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමටත් මේ දක්වා එම චෝදනා වලට රජය ගෙන ඇති පියවරයන් පිළිබඳ සොයාබැලීමටත් අවසරය හිමිව තිබේ.

පරීක්ෂණයෙන් හෙළිවන කරුණු සම්බන්ධයෙන් මහකොමසාරිස්වරිය කවුන්සිලයේ 27 වැනි සැසිවාරය පැවැත්වෙන 2014 සැප්තැම්බර් මසදී වාචික පැහැදිලි කිරීමක් සිදුකරනු ඇති අතර 2015 මාර්තු මස පැවැත්වෙන කවුන්සිලයේ 28 වැනි සැසිවාරයේදී පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත