(සුජිත් හේවාජුලිගේ )

කැඩී බිඳී ගොස් තිබූ දැවමය  ඡන්ද පෙට්ටි දහසකට වැඩි ප්‍රමාණයක් අලුත්වැඩියාව සඳහා රජයේ කර්මාන්ත ශාලාවට පසුගියදා  බාර දුන් බව  මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මනින්ම පැවැත්වීමට සැලසුම් කර ඇති හෙයින් ඡන්ද පෙට්ටි සියල්ල කල් තියා සූදානම් කර තැබීමට කොමිසම  පසුගියදා තීරණය කළේය.

අලුත් වැඩියාවට දුන් ඡන්ද පෙට්ටි කොටසක් එම කටයුතු නිම කිරීමෙන් පසු නැවතත් බාරදී ඇතැයි කොමිසමේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.

සමහර ඡන්ද පෙට්ටි දැඩි ලෙස අබලන්ව  පැවතුණ  අතර  පෙට්ටි බොහොමයක පවතින්නේ ඒවායේ අගුල්වල (ලොක්) ගැටළු බවද එම නිලධාරියා ප්‍රකාශ කළේ‍ය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රමාණයක් අලුත්වැඩියාව සඳහා රජයේ කර්මාන්ත ශාලාවට පසුගිය සතියේ බාරදුන් බව  කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර ඡන්දයේදී ඡන්දදායකයන්ගේ ඇගිලි පාට කිරීම සඳහා යොදා ගන්නා තීන්ත සහ  අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධයෙන්ද  සාකච්ඡා ආරම්භවී ඇති බව  එම ආරංචි මාර්ග අනාවරණය කළේය.